ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කේබල් නිෂ්පාදකයෙකු වන Cable Solutions Limited සමාගම, සිය මූලික කොටස් නිකුතුව (IPO) ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, 2024 ජූලි 9 වන දින පැවැත් වූ ආයෝජක සංසදය සාර්ථකව අවසන් වූ බව නිවේදනය කරයි. අන්තර්ජාලය ඔස්සේ පවත්වන ලද මෙම ආයෝජක සංසදය සඳහා දේශීය හා විදේශීය ආයතනික සහ තනි ආයෝජකයින් මෙන් ම අදාළ ක්ෂේත්රයේ ප්‍රවීණයන්, මාධ්‍ය නියෝජිතයින් ඇතුළු විවිධ පාර්ශ්ව සහභාගි වූහ.
මෙම සංසදය, සමාගමේ ශක්තිමත් වර්ධනය, තාක්ෂණික දියුණුව සඳහා සමාගමේ කැපවීම, උපාය මාර්ග මෙන් ම වසර 2028 වන විට ආසියාවේ සහ යුරෝපයේ ඉලෙක්ට්‍රොනික කර්මාන්තය ආශ්රිත ප්‍රමුඛතම කේබල් නිෂ්පාදකයින් 10 දෙනා අතරට පැමිණීම සඳහා වන Cable Solutions Limited හි අනාගත ඉලක්කය පිළිබඳ ආයෝජකයින් ඇතුළු අදාළ පාර්ශ්වයන් වෙත මනා අවබෝධයක් ලබා දීම සඳහා හොඳ අවස්ථාවක් වූ අතර, සමාගමේ ඉහළ කළමනාකාරිත්වය ඇතුළු නිලධාරීන් සමඟ සෘජු ව සම්බන්ධ වීමට ද මෙම අවස්ථාවට සහභාගි වූවන්ට හැකි විය.
ඒ අනුව, Cable Solutions Limited සමාගමේ මූලික කොටස් නිකුතුව සඳහා වන අයදුම්පත් භාර ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර, Asia Securities (Private) Limited හි කළමනාකරණය හා උපදෙස් මත සිදු කරනු ලබන මෙම කොටස් නිකුතුව 2024 ජූලි 23 වන දින විවෘත වේ. 2025 මූල්‍ය වර්ෂය සඳහා පුරෝකථනය කරන ලද ආදායම් මත පදනම් ව එහි කොටසක මිල රුපියල් 7.50 ක් වන අතර, KPMG හි ස්වාධීන තක්සේරු වාර්තාවට අනුව, කලාපීය අනෙකුත් සමාගම් හා සසඳන කල මෙම තක්සේරුව හරහා ආයෝජකයින් වෙත 27-51% ක සැලකිය යුතු වට්ටමක් ලබා දීම කැපී පෙනේ.
2023 වසර සඳහා Cable Solutions Limited සමාගමේ ආදායම රුපියල් බිලියන 3.3 ඉක්මවන අතර, එම සමාගමේ අපනයන ආදායම සමස්ත ආදායමෙන් 94%ක් ලෙස වාර්තා වේ. සමාගම ගෝලීය වෙළෙඳපොළ තුළ සිය ස්ථාවරත්වය වර්ධනය කර ගනිමින් වර්තමානය වන විට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ඉන්දියාව ඇතුළුව රටවල් 13කට සිය නිෂ්පාදන අපනයනය කරයි.
ප්‍රකාශිත මූලික කොටස් නිකුතුවේ දී නව කොටස් 14,666,600 ක් සහ දැනට පවතින කොටස් 66,120,000ක් සමඟ සාමාන්‍ය කොටස් 80,786,600ක් මහජනතාවට මිල දී ගැනීමේ අවස්ථාව ලබා දී ඇත. නව කොටස් අනිකුතුවෙන් අපේක්ෂිත ආදායම රුපියලේ 109,999,500/- කි. මෙම අරමුදල් නව යන්ත්‍රෝපකරණ සහ නිෂ්පාදන ක්ෂේත්‍ර සංවර්ධනය (81.8%) සහ කාරක ප්රාග්ධනය (18.2%) සඳහා වෙන් කිරීමට Cable Solutions Limited සමාගම අරමුණු කරයි.
වර්තමානය වන විට කේබල් නිෂ්පාදන ක්ෂේත්රයේ ප්‍රමුඛයකු වන Cable Solutions Limited සමාගම, පර්යේෂණ සහ සංවර්ධන කටයුතු කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක වීම හරහා සාර්ථක වෙළෙඳපොළ ව්‍යාප්තියක් සාක්ෂාත් කර ගැනීමට සමත් වී ඇති අතර, වසර ගණනාවක් පුරා සිය මෙහෙයුම් ධාරිතාව පුළුල් කිරීම සඳහා උපාය මාර්ගික ව ආයෝජනය කර ඇත.
පාරිසරික තිරසාරභාවය සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ද නිරන්තරයෙන් කැප වෙමින්, ඒ වෙනුවෙන් ජල ප්‍රතිචක්‍රීකරණය, හරිතකරණ ව්‍යාපෘති, සූර්ය බලශක්ති ව්‍යාපෘති ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන Cable Solutions Limited සමාගම, එම ව්‍යාපෘති හරහා 100%ක් කාබන් මධ්‍යස්ථ සමාගමක් ලෙස ක්‍රියාත්මක වන අතර, මෙම වැඩසටහන් මගින් විදුලි වාහන සහ පුනර්ජනනීය බලශක්ති වෙළෙඳපොළ වෙත යොමු වීමට ද එම සමාගම අරමුණු කරයි.