ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාන්තා සනීපාරක්ෂක තුවා සන්නාමය වන Eva, ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය (SLRC) සමග එක්ව ඔසප් වීම සහ සනීපාරක්ෂාව පිළිබඳ දැනුම්වත් කිරීමේ දීපව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. ඔසප් කාලයේ දී ඊට ධනාත්මක ලෙස මුහුණ දීම සඳහා පාසල් සිසුන්ට අවශ්‍ය දැනුම ලබා දීම මෙම වැඩසටහනෙන් අරමුණු කෙරෙන අතර, 2025 වසර ඇතුළත මෙරට පාසල් ආවරණය වන පරිදි මෙම වැඩසටහන දියත් කිරීමට අපේක්ෂා කෙරේ. දෙසැම්බර් 09දා ශ්‍රී ලංකා රතු කුරුස සංවිධාන මූලස්ථානයේ දී මෙම වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ඔසප් වීම සහ සනීපාරක්ෂාව පිළිබඳ අධ්‍යාපනික දැනුම රටපුරා රැගෙන යන ප්‍රායෝගික වැඩපිළිවෙළක් සඳහා මඟ පෑදීය.
අධ්‍යාපන අමාත්‍යංශයේ සහාය ඇතිව ක්‍රියාත්මක කරනු ලබන මෙම දැනුවත් කිරීමේ වැඩසටහන, ඔසප් වීම පිළිබඳ සමාජය තුළ පවතින යල්පැනගිය ආකල්ප පරිවර්තනය කර නිසි අවබෝධයක් ලබා දෙන ඒකාබද්ධ ප්රයත්නයකි. ඔසප් චක්‍රයට මුහුණ දීම ලැජ්ජාසහගත කරුණක් නොව, එය ජීව විද්‍යාත්මක සහ සෞඛ්‍යමය සලකුණක් වශයෙන් සලකන සමාජ රටාවක් ගොඩනගා ගැනීම මෙම වැඩසටහනෙහි අරමුණයි. සිත් ඇඳගන්නා සුළු වැඩමුළු, අන්තර්ක්‍රියාකාරී සාකච්ඡා සහ විශ්වාසදායක තොරතුරු ලබා දීම ඔස්සේ ඔසප් වීම පිළිබඳ මනා අවබෝධයක් සැපයීම මෙම වැඩසටහනේ පරමාර්ථයයි.
මෙම මුලපිරීම පිළිබඳ අදහස් දැක්වූ ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානයේ උප සභාපති ජගත් අබේසිංහ මහතා මෙසේ සඳහන් කළේ ය. “අපි Eva සමඟ එකතු වුණේ තරුණ කාන්තාවන්ට ගෞරවාන්විතව වගේම විශ්වාසයෙන් යුතුව ඔසප් චක්‍රයට මුහුණ දිය හැකි අනාගතයක් නිර්මාණය කිරීම උදෙසාය. මේ සමාජ ගැටලුව පිළිබඳ සමාජය තුළදීම නිසි සංවාදයක් ඇති කරමින් ඒ සඳහා වැදගත් ප්‍රවේශයක් ලබා ගැනීම අපගේ ප්‍රධානම අරමුණයි”
මෙහිදී බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යාපන අධ්යක්ෂ (පරිපාලන) එච්. එන්. පෙරේරා මහත්මිය පැවසුවේ, “අධ්‍යාපනය යනු ශාස්ත්‍රීය දැනුම ලබා දීම පමණක් නොව අන්‍යොන්‍ය වශයෙන් එකිනෙකා අවබෝධ කර ගැනීමක් ද වන බවයි. මෙම මුලපිරීම තාරුණ්‍යයේ දැඩි අවශ්‍යතාවයක් පිළිබඳ සංවාදයක් ගොඩනගන අතර, ඔසප් වීමේ ක්‍රියාවලිය පිළිබද ගැහැණු සහ පිරිමි ළමුන් තුළ සංවේදීතාවයෙන් යුතු සමාජ අවබෝධයක් ඇති කිරීම උදෙසා පිටිවහලක් සපයනු ලබයි”.
කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සුරේෂ් ශ්‍රීනිවාසන් මහතා ද මෙසේ අදහස් දැක්වීය. “මෙම මුලපිරීම ඔස්සේ අප බලාපොරොත්තු වන්නේ දැඩි විශ්වාසයකින් සහ ආඩම්බරයකින් යුතුව ස්ත්‍රීත්වය වැළඳ ගන්නා සමාජ ක්‍රමයක් බිහි කර ගැනීමටයි. ඒ වගේම ඔසප් වීම ස්වභාවික සහ සෞඛ්‍ය සම්පන්න ජීව විද්‍යාත්මක ක්‍රියාවලියක් බවට සමාජ අවබෝධයක් ඇති කරමින් යල්පැන ගිය අදහස් වලින් තොරවූ කාන්තාවන් සවිමත් කරන සමාජ පද්ධතියක් නිර්මාණය කර ගැනීම අපගේ ප්‍රධානතම ඉලක්කයයි”
මෙම වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සමාගමක් වන ICL බ්‍රෑන්ඩ්ස් හී ප්‍රධාන විධායක නිලධාරී රොනී චාකෝ මහතා “ අනාගත පරම්පරාව සෑම පැතිකඩකින්ම සවිබල ගැන්වීම සඳහා අධ්‍යාපනය ප්‍රමුඛතම ක්ෂේත්රයක් බව Eva හි අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි තරුණ තරුණියන්ට ඔවුන්ගේ ශරීරයේ සිදුවන ස්වභාවික විපර්යාසයන් පිළිබඳ නිවැරදි දැනුමක් ලබා දිය යුතු වෙනවා. මෙවැනි වැඩසටහන් හරහා වැඩිවියට පත්වීම, ඔසප් විම සහ කාන්තා සනීපාරක්ෂාව වැනි මාතෘකා වටා ගෙතී ඇති ලැජ්ජා සහගත සහ දුර්මත බැහැර කිරීමට අපට හැකියාව ලැබෙනවා. ඒ වගේම එකිනෙකාට සහයෝගය දක්වමින්, අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරන ශ්‍රී ලාංකිකයින් වෙසෙන සමාජයක් බිහි කර ගැනීම අපගේ මෙම පුළුල් ප්රයත්නයෙහි අරමුණයි”.
International Cosmetics (Pvt) Ltd. (ICL) හි ප්‍රමුඛතම සන්නාමයක් වන Eva, වසර 30කට වැඩි කාලයක් පුරාවට සනීපාරක්ෂාව සඳහා වඩාත් සෞඛ්යාරක්ෂිත සහ සුවපහසු නව්‍ය නිෂ්පාදන රැසක් ශ්‍රී ලාංකික වෙළඳපොළ වෙත හඳුන්වාදීමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කර ඇත. දිවයින පුරා සිටින මිලියන 10කට අධික කාන්තාවන් වෙනුවෙන් ආර්ථව අධ්‍යාපනය වැඩිදියුණු කර, දැරියන්ගේ සහ කාන්තාවන්ගේ සෞඛ්‍යමය යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම උදෙසා Eva සන්නාමය කැපවීමෙන් කටයුතු කරයි. ආර්ථවය පිළිබඳ සමාජ දුර්මත බිඳ දමමින්, ඒ පිළිබඳ විවෘත සංවාදයකට මෙම වැඩසටහන ඉඩ ප්‍රස්ථාව සලසන අතර, දැරියන්ට සහ කාන්තාවන්ට අපකීර්තීයකින් තොරව සිය ජයග්රහණයන් කරා පිය මැනීමට මහත් විශ්වාසයක් ද ගොඩනගනු ඇත.
ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය, රජයට සහාය වන ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන අතර, මනුෂ්‍යත්වය, අපක්ෂපාතීත්වය, මධ්‍යස්ථාභාවය, ස්වාධීනත්වය ස්වේච්ඡා සේවය සහ එකමුතුකම යන මූලික ගුණාංගයන් මත පදනම් වෙමින් කටයුතු කරනු ලබයි. අර්බුදකාරී කාල පරිච්ඡේදයන්හි දී ශ්‍රී ලංකාව පුරා සිටින ප්‍රජාවන්ට සහයෝගය දැක්වීම පිණිස කැපවී කටයුතු කරන ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය මෙවර කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ නිසි අධ්‍යාපනයක් සහ දැනුම්වත්භාවයක් ලබා දෙමින් සමාජය තුළ ධනාත්මක වෙනසක් ඇති කිරීමට Eva සමග හවුල්කාරී වී ඇත. කාන්තා සනීපාරක්ෂාව පිළිබඳ දැනුම්වත් සමාජයක් නිර්මාණය කර ගැනීම සඳහා සියලුම පාසල්වලට, අධ්‍යාපනඥයින්ට සහ ප්‍රජාවට තමන් සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස Eva සහ රතු කුරුස සංවිධානය ආරාධනා කර සිටියි.