ඩුබායිහි සිටින පාතාල අපරාධකරුවකු ඉල්ලා සිටි රු. ලක්ෂ 50ක කප්පම් මුදලක් දීම ප්‍රතික්ෂේප කළ ව්‍යාපාරිකයකු පදිංචි කඳාන, ලියෝ මාවතේ පිහිටි නිවෙසක් අසලට යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ඊයේ (4) ටී56 අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලාගොස් ඇත.
ගොවිපොළවලින් මස් වර්ග මිලට ගෙන සුපිරි වෙළෙඳසල්වලට අලෙවි කිරීමේ ව්‍යාපාරයක නිරත මේ ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුමක් දෙමින් රු. ලක්ෂ 50ක කප්පම් මුදලක් ඉල්ලා ඇත්තේ මේ වන විට ඩුබායිහි රැඳී සිටින කඳානේ සිටි පාතාලයේ සාමාජිකයකු වන චූටි මල්ලි නමැත්තා විසිනි. සතියක් තිස්සේ ඔහු මේ ව්‍යාපාරිකයාට දුරකතන ඇමතුම් දෙමින් කප්පම් ඉල්ලා ඇතත් ව්‍යාපාරිකයා පවසා ඇත්තේ තමා දුක්මහන්සියෙන් හම්බ කරන මුදල් කප්පම් වශයෙන් ගෙවිය නොහැකි බවයි. එහිදී “එහෙම නම් මට කරන්න දෙයක් නැහැ. වරුණ එක්ක බේරගන්න එකයි ඇත්තේ “ යැයි චූටි මල්ලි පවසා ඇති බව සඳහන්ය.
වරුණ නමැත්තා ගම්පහ ප්‍රදේශයේ ක්‍රියාත්මක පාතාල කල්ලියකට සම්බන්ධ ප්‍රබල සාමාජිකයකු බවත්, හීනටියන මහේෂ් සහ වරුණ එකම කණ්ඩායමක සාමාජිකයන් බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. හීනටියන මහේෂ් නමැති අපරාධකරු ඩුබායි සිට මේ වන විට මිනුවන්ගොඩ, සීදූව සහ මීගමුවේ ව්‍යාපාරිකයන් බිය ගන්වමින් කප්පම් රැස්කරන බවට තොරතුරුද පොලිසියට ලැබී ඇත. මෑතකදී ඔහු මීගමුවේ ව්‍යාපාරිකයකුගෙන් රු. කෝටි 5ක මුදලක් ඉල්ලා ඇති බවට පොලිස් විශේෂ කාර්ය බළකායට තොරතුරු ලැබී තිබිණි. කඳානේ ව්‍යාපාරිකයාගේ නිවෙස ඉදිරිපිටට පැමිණ වෙඩි තබා ඇත්තේද වරුණගේ ගෝලයන් බවට තොරතුරු ලැබෙන බව පොලිසිය කියයි. වෙඩි 15ක් පමණ ගේට්ටුවට සහ තාප්පයට වැදී තිබෙන බව විමර්ශනයේදී පෙනී ගොස් ඇත.
වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදියේ හිමිකරු හඳුනාගෙන ඔහු පොලිසිය විසින් ඊයේ පෙරවරුවේදීම අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ පසුගිය 2 දා තමාට අයත් යතුරුපැදිය චූටි මල්ලි විසින් ඩුබායි සිට දුන් දුරකතන ඇමතුමකට අනුව සතියක කාලයක් පරිහරණය කරීමට සත්තික නමැති අයකුට දුන් බවයි. සත්තික නමැති පුද්ගලයාද කඳානේ පදිංචිකරුවෙකි. වෙඩි ප්‍රහාරයෙන් පසු එම පුද්ගලයා පලාගොස් සැඟව ඇති බව පොලිසිය කියයි. එම පුද්ගලයා චූටි මල්ලිගේ සමීපතයකු බවත්, මත්කුඩු ජාවාරමකට සම්බන්ධව සිටින්නකු බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
ගයාන් කුමාර වීරසිංහ,
ජාඇළ විශේෂ – තිස්ස කොටින්කඩුව