වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගණයේ පැවති පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ ගැටුමකින් ළමුන් ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය ප්‍රකාශ කළේ බොරැල්ල පාසලක් සහ මරදානේ පාසලක් අතර එම පාපන්දු තරගය ඊයේ (07) පවත්වා ඇති අතර තරගයෙන් අනතුරුව එම ගැටුම හටගෙන තිබූ බවය.
තරගය නැරඹීම සඳහා පැමිණ සිටි පිරිසක් සහ සිසුන් අතර එම ගැටුම හටගෙන ඇති බව වාර්තා වේ.
පහරකෑමෙන් තුවාල ලැබූවන් කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර තිබේ.
ගැටුමට සම්බන්ධ වැල්ලවත්ත සහ කිරුලපන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
මේ අතර බම්බලපිටිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සුරාබදු නිළධාරීන් සිව්දෙනා අද (08) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා පවසයි.
ඊයේ පස්වරුවේ බම්බලපිටිය මුහුදු මාවත ප්‍රදේශයේ ඉන්ධන හලක් අසලදී වෑන් රථයක සිටි නාඳුනන පිරිසක් විසින් මෝටර් රථයකට වෙඩි තබා පළාගොස් තිබුණි.
අනතුරුව පොලීසිය සිදුකළ විමර්ශනයේදී වෑන් රථයේ ගමන් කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් සුරාබදු නිලධාරීන් බවට පසුව අනාවරණය වූ බව පොලීසිය පැවසුවේය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් සඳහා තම කණ්ඩායම එම ස්ථානයට ගිය බවත් සැකකරුවන් පළායාමට උත්සාහ කිරීමේදී මෝටර් රථයට වෙඩිතැබූ බවත් සුරාබදු නිලධාරීන් ප්‍රකාශ කර ඇති බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.