සහල් පාලන මිලෙහි කිසිදු වෙනසක් කිරීමට බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය. ගොවි ජනතාවගෙන් සාධාරණ මිලට වී ගැනීමටත්, පාරිභෝගික ජනතාවට සාධාරණ මිලට සහල් දීමටත් විධිමත් යන්ත්‍රණයක් අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ, සහල් ව්‍යාපාරිකයන් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (22) පැවති සාකච්ඡාවේදීය.
සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට මූල්‍ය දුෂ්කරතා මඟහැරගැනීම සඳහා යෙදවුම් මිල අඩු කිරීම පිළිබඳවද මේ සාකච්ඡාවේදී අවධානය යොමු විය. සංවිධිත කෘෂිකර්මාන්ත සැලැස්මක් ඇති කර ගොවි ජනතාවට වැඩි ප්රතිලාභ ලැබීමේ දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. වර්තමානයේ පවතින පාරිභෝගික භාණ්ඩ මිල සම්බන්ධව මේ සාකච්ඡාවේදී වධානය යොමු වූ අතර, ජනතාවගේ ප්‍රධාන ආහාරයක් ලෙස බත සකස් කරන සහල් මිල පාලනයේ පවත්වාගැනීමේ අවශ්‍යතාව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ. පාලන මිල පැනවීමෙන් පසු ගොවීන්ගෙන් වී මිල දී ගෙන ඇති බවත්, ඉන් පසුව සහල් මිලෙහි වෙනසක් සිදු කිරීම සාධාරණ නොවන බවත් ජනාධිපතිවරයා මෙහිදී සහල් ව්‍යාරිකයන් හමුවේ ප්‍රකාශ කළේය. සහල් මිල කෘත්‍රිම ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා දිගු කාලීනව පාලන මිල ක්‍රියාත්මක නොකිරීමෙන් මේ මිල අස්ථාවරභාවය මතුව ඇති බවද කියා සිටියේය. අතර මැදි තොග රැස් කරන්නන් සම්බන්ධයෙන් මේ සාකච්ඡාවේදී අවධානයට ලක් වූ අතර, ඒ පිරිස ලියාපදිංචි කිරීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී කෘෂිකර්ම නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
සහල් මෝල් හිමියන්ගේ සංගම් නියෝජනය කරමින් ඩඩ්ලි සිරිසේන, නිපුණ ගම්ලත්, මිත්‍රපාල ලංකේශ්වර, ජයසිරි ගුණතිලක, මේනක ගම්ලත් මහත්වරුන් ඇතුළු ව්‍යාපාරිකයෝ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු පිරිසක් මේ සාකච්ඡාවට සහභාගි වූහ.