සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ සහ හොර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වී මෙරටට ආවේණික ජෛව සම්පත් එක්රැස් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයන් දෙදෙනා ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (15) වරද පිළිගත් බැවින් සැකකරුවන් දෙදෙනාට රුපියල් එකළොස් කෝටි හැට අට ලක්ෂ දස දහසක දඩ මුදලක් ගෙවන ලෙස මහේස්ත්‍රාත් දිළුම් ප්‍රනාන්දු මහතා නියෝග කළේය. ඉතිහාසයේ මෙතෙක් වනජීවී දෙපාර්තමේන්තුව මඟින් අය කර ගත් විශාලම දඩ මුදල වන්නේ මෙයයි.
මෙයට පෙර විශාලතම දඩය ලෙස සටහන් වූයේ යාල වනෝද්‍යානයේ බත්කූරන් ඇල්ලූ ඉතාලි ජාතික පිය – පුතු යුවළකට පසුගිය සැප්තැම්බර් 03 වැනිදා තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කළ රුපියල් කෝටි 06ක දඩ මුදලය. මෙවර සිංහරාජ වනාන්තරයේ සහ හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වී ජෛව සම්පත් රැස් කිරීම සම්බන්ධයෙන් දඩ නියම වූයේ රුසියාවේ මොස්කව් නුවර පදිංචි සැවෙලි ඇලෙක්සැන්ඩ්රොවිච් (18) සහ නිකොලයි ඊල්යිච් (21) යන දෙදෙනාටය.
සැකකරුවන් දෙදෙනා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් කියා සිටියේ එම දඩ මුදල කොටස් වශයෙන් ගෙවීමට නියෝගයක් ලබාදෙන ලෙසත්, දඩ මුදලෙන් ලක්ෂ පහළොවක මුදලක් අධිකරණය වෙත මෙදිනම ගෙවන බවත්ය.
එම ඉල්ලීමට වනජීවී නිලධාරීන්ගේ විරෝධයක් මතුනොවූ නිසා දෙපාර්ශ්වය පිළිබඳ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා යළිත් මෙම නඩුව ලබන මස 26 වැනි දින කැඳවීමට නියෝග කළ අතර, දඩ මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කරන තෙක් සැකකරුවන් දෙදෙනාගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණය හමුවේ තවදුරටත් රඳවා ගැනීමට නියෝග කෙරිණි.
සැකකරුවන් දෙදෙනා ඉකුත් අගොස්තු මස 28 වැනි දින එම රක්ෂිත තුළට ඇතුළු වී ජෛව සම්පත් කොල්ලකමින් සිටින බවට ලද තොරතුරක් මත නුවරඑළිය හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ඩබ්ලිව්.එම්.එල්.කේ. වාසල, නුවරඑළිය ගැල්වෙස්ලැන්ඩ් ජාතික වන උද්‍යානයේ භාරකරු ප්‍රභාෂ් කරුණාතිලක යන මහත්වරුන් ඇතුළු වනජීවී නිලධාරීන් කණ්ඩායමක් සිංහරාජ ලෝක උරුම වනාන්තරය වෙත ගොස් වැටලීමක් කර අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී සැකකරුවන් නවාතැන්ගෙන සිටි ඇඹිලිපිටිය ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක කාමරයක සඟවා තිබූ ජෛව සම්පත් 230ක් තම භාරයට ගත් බව එම වැටලීමට එක් වූ හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ඩබ්ලිව්.එම්.එල්.කේ. වාසල මහතා පැවසීය.
එම සැකකරුවන් දෙදෙනා ඉකුත් අගොස්තු මස 29 වැනි දින ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.
එක් සැකකරුවකුට චෝදනා 1067 බැගින් ගොනු කළ බවත් වනජීවී දෙපාර්තමේන්තු ඉතිහාසයේ ජෛව සම්පත් කොල්ලයකට නියම කළ වැඩිම දඩ මුදල මෙය බව වාසල මහතා කියා සිටියේය.
සැකකරුවන්ගේ චෝදනාවලට අමතරව සැකකරුවන් විසින් එක්රැස් කර තිබූ ජෛව සම්පත් සම්බන්ධයෙන් කුමන සජීවී සත්ත්ව කාණ්ඩයක් ද යන්න පිළිබඳ වාර්තාවක් සත්ත්ව උද්‍යාන අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් සහ සතුන් මත් කිරීම සම්බන්ධයෙන් පසු පර්යේෂණ ආයතනයෙන් වාර්තා කැඳවා එම වාර්තා ද අධිකරණය හමුවේ ඉදිරිපත් කළ වාසල මහතා පැවසීය.
එම චුදිතයන් දෙදෙනා මෙරටට ආවේණික දුම්බර අං කටුස්සා, පලා කටුස්සා, ඇහැටුල්ලා, කණාමැදිරියන්, ගොළුබෙල්ලන්, සිංහරාජ වනාන්තරයට ආවේණික රක්වාන ගෙම්බන් ඇතුළු ජෛව සම්පත් 230ක් එක්රැස් කර තිබිණි.
වනජීවී දෙපාර්තමේන්තුවට අයත් රක්ෂිතවලට ඇතුළු වී මෙවැනි ජෛව සම්පත් කොල්ලකෑම් සිදු කරන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන බව ද වාසල මහතා වැඩිදුරටත් පැවසීය.
වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාගේ උපදෙස් පරිදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බවත් මෙම මෙහෙයුම හෝර්ටන්තැන්න ජාතික උද්‍යානයේ ක්ෂේත්‍ර සහායක ඇල්කඩුව මහතා සහ රියැදුරු මහතා සහභාගි වූහ.
හැටන් – රංජිත් රාජපක්ෂ ( දිනමිණ )