ශ්‍රී ලංකාවේ රජයේ බදු ආදායමෙන් සැලකිය යුතු කොටසක් දුම් වැටි හා මත්පැන් අලෙවියෙන් ලැබෙන බව රහසක් නොවේ. එහෙත් පසුගිය මූල්‍ය වාර්තාවන්ට අනුව එම ආදායමේ සුවිසල් අඩුවක් සිදුව ඇති බව පෙනෙන්නට තිබේ. විටින් විට මිල ඉහළ යාම, වෙළදපොල තුල පැවති විවිධ නිෂ්පාදන සදහා නීතිමය වශයෙන් ගැටලු මතුවීම, ජාවාරම්කරුවන් විසින් අයථා මාර්ගයෙන් දුම්වැටි හා මත්පැන් විශාල ප්‍රමාණයක් මෙරටට රැගෙන ඒම හා බෙදා හැරීම මෙන්ම ජීවන වියදම වැඩිවීම වැනි කරුණු ඊට බෙහෙවින් බලපෑ බව කිව හැකිය. මෙහිදී ඊට හේතු වූ තවත් විශේෂ කරුණක් වන්නේ දේශීය වශයෙන් සිදු වන නෛතික නොවන නිෂ්පාදනයන්ය. මත්පැන්වලට ආදේශයකයන් ලෙස ග්‍රාමීය වශයෙන් නීත්‍යානුකූල නොවන මත්පැන් හෙවත් කසිප්පු නිෂ්පාදනය හේතුවෙන් බොහෝ දෙනා ඒ වෙත යොමු වන්නට ඇතැයි අනුමාන කළ හැකිය. එමෙන්ම දුම්වැටි පිළිබඳව සැලකීමේදී ද නීතිමය වශයෙන් පිළිගත් දුම්වැටි භාවිතයෙන් ඉවත්ව අඩු මුදලට අනීතික හා සෞඛ්‍යයට දැඩි බලපෑම් එල්ල කළ හැකි දුම්වැටි භාවිතයට බොහෝ දෙනා නැඹුරු වී ඇති බවද පෙනෙනන්ට ඇත. පාරිභෝගිකයින්ගේ ආර්ථික තත්ත්වය කඩා වැටීම හා අදාල නීත්‍යානුකූල නිෂ්පාදනවල මිල ඉහල මට්ටමක පැවතීමද මීට හේතුවක් විය හැකිය.
ශ්‍රී ලංකාව තුල වසර ගණනාවකදී සිදුකරන ලද සමීක්ෂණයන්ට අනුව බීඩි භාවිතය පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇති ආකාරය අවබෝධ කරගත හැකිවේ. 2015 වසර වන විට බීඩි බිලියන 3.01ක් අලෙවි වී ඇති අතර 2023 වසරේදී එය බිලියන 6.51ක් දක්වා එනම් 100%කට වඩා වැඩි ප්‍රමාණයකින් වර්ධනය වී ඇති බව තහවුරු වේ. මේ තුළින් රජයට අය කළ හැකි බදු විශාල ප්‍රමාණයක් මග හැරී යන බව තහවුරු වේ. වාර්තා වන කරුණු අනුව සමහර බීඩි නිෂ්පාදකයින් නීතිවිරෝධී හා අයථා ක්‍රම භාවිතයෙන් මෙරටට රැගෙන එන බීඩි කොළ හා දුම්කොළ හේතුවෙන් මීට අදාල නීතිය බලාත්මක කරනු ලබන ආයතන සඳහාද මෙම නිෂ්පාදන නිසි පරිදි නියාමනය කිරීමේ ගැටලුවකට මුහුණ දී ඇත. මීට අමතරව බීඩිවලින් විශාල ප්‍රමාණයක් වංචා සහගත ලෙස ඉන්දියාවෙන් හෝ වෙනත් රටවලින් ආනයන කරන අමුද්‍රව්‍යයන්ගෙන් නිෂ්පාදනය කළ ඒවාය. එමඟින්ද රටට අහිමිව යන බදු මුදල ඉතා විශාලය.
ඒ අනුව පසුගියදා මහියංගනය, දෙහිඅත්තකණ්ඩිය වැනි ප්‍රදේශයන්ගෙන් නීතිමය රාමුවෙන් එහා ගිය තවත් නිෂ්පාදනයක් පිළිබඳව වාර්තා විය. එනම් මෙන්තෝල් රස ගන්වන ලද දුම්කොළ අඩංගු බීඩි නිෂ්පාදනයකි.
මෙන්තෝල් රසයෙන් යුත් දුම්වැටි භාවිත කළ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් මෙන්ම තරුණ පරපුර ඉලක්ක කර ගනිමින් මෙන්තෝල් රසැති දුම්කොළ අඩංගු බීඩි නිෂ්පාදනය කරන්නට ඇති බව සිතිය හැකිය. මෙම නිෂ්පාදනයන් හේතුවෙන් මතු විය හැකි ගැටලු රැසක්ද මේ මොහොතේ සඳහන් කළ හැකිය. ඉන් ප්‍රධානතම ගැටලුව වන්නේ මේ ආකාරයේ නියාමනයෙන් තොර නිෂ්පාදනයන් හේතුවෙන් රජයට අහිමිවන බදු ආදායමයි. එමෙන්ම මෙම බීඩි නිෂ්පාදනය පවතින නෛතික රාමුවෙන් පිටත සිදුවන්නක් නොවන්නේද? මේ පිළිබදව නීතිය බලාත්මක කරනු ලබන ආයතන තම අවධානය යොමු කළ යුතුව ඇත.
සාමාන්‍යයෙන් බීඩි කර්මාන්තය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ ගෘහ කර්මාන්තයක් ලෙස වන අතර ඒ පිළිබඳව කිසිඳු නියාමනයක් සිදු නොවේ. ඒවායෙහි තත්ත්වය හෝ ඒවා සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යයන්හි තත්ත්වය පිළිබඳ නිසි ඇගයීමකින් තොරව මෙම නිෂ්පාදන වෙළෙඳපොලට පැමිණෙන අතර අඩු මිල හේතුවෙන් බොහෝ දෙනා මෙම නිෂ්පාදන භාවිතයට පුරුදු වී සිටිති. අලුතින් වෙළෙඳපොලට හඳුන්වා දී ඇති මෙන්තෝල් සහිත බීඩි නිෂ්පාදනයද එහිදී වැදගත් වේග මෙම මෙන්තෝල් රස සහිත බීඩි නිෂ්පාදනය කළ හැකිද? යොදා ගන්නා අමුද්‍රව්‍ය මොනවාද? කෙතරම් හානිදායකද? යන්න පිළිබදව ඇගයීමක් නොමැති වීම බරපතල තත්ත්වයකි. එය එසේ වන විට රස ගැන්වූ බීඩි නිෂ්පාදනයන්ගේ බලපෑම කෙතෙක් වන්නේදැයි කිසිවකුට කිව නොහැක.
රටේ ආර්ථිකයට ද මෙහි අහිතකර බලපෑම වන්නේ බදු ආදායමට ඒවා කිසි ලෙසකින් හෝ හසු නොවන බැවිනි. 2023 මැයි මස සිට මෙරට ලියාපදිංචි බීඩි නිෂ්පාදකයින් විසින් බදු ගෙවීම සිදු කරන බවට සඳහන් කළ ද බොහෝ බීඩි නිෂ්පාදකයින් ලියාපදිංචි නිෂ්පාදකයින් නොවීම මත නිෂ්පාදකයින්ගෙන් බදු ලබා ගැනීම කිසිසේත් කළ නොහැක්කකි. මේ නිසා තවත් සුවිසල් බදු ප්‍රමාණයක් එකතු කර ගැනීමේ අවස්ථාව රජයට උදා නොවන අතර නීතිමය නොවන හානිකර නිෂ්පාදන වැඩි වැඩියෙන් වෙළෙඳපොලට එක් වනු ඇත. එසේ හෙයින් මේ සඳහා නිසි නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වනු ඇත.
මෙහි ඇති තවත් විශේෂත්වයක් නම් රට තුළ ලියාපදිංචි වී තිබූ බීඩි කර්මාන්තයේ නියුතු ආයතන 318ක් අතුරින් ආයතන 212ක් තරම් විශාල ප්‍රමාණයක් තමන්ගේ ලියාපදිංචිය යාවත්කාලීන කිරීමට කටයුතු නොකිරීමයි. එහෙයින් ඔවුන් නීති විරෝධී බීඩි නිෂ්පාදකයින් ලෙස හැඳින්වීම ද වැරදි නැත. එසේම අනෙකුත් ලියාපදංචි නිෂ්පාදන ආයතන 106 ම පසුගිය වසරේදී කිසිඳු බදු මුදලක් ගෙවා නොමැති බවද සුරාබදු වාර්තාවල සඳහන්ය. කිසිඳු නියාමනයකින් තොරව ක්‍රියාත්මක වන මෙම කර්මාන්තය රටේ ආර්ථිකයකට දායක වනවාට වඩා වෙනත් අනීතික ව්‍යාපාරයන් රට තුළ ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින බවක් පෙනෙන්නට ඇත. වසරක් තුළ ඔවුන් රටට අහිමි කර ඇති බදු ප්‍රමාණය අති මහත්ය. මෙය සුරාබදු හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට මෙරට ලියාපදිංචි මත්පැන් නිෂ්පාදන ආයතනයන් ද කෝටි 715ක බදු ගෙවීම් පැහැර හැර ඇති අතර, රා නිෂ්පාදකයින් 13ක් දෙනෙකු රුපියල් ලක්ෂ 62ටත් වඩා වැඩි බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව එම වාර්තාවල සඳහන්ය.
ඊට අමතරව මේ ආකාරයේ නීති වීරෝධී හා ප්‍රමිතියකින් තොර කිසිඳු නියාමනයක් නොමැති නිෂ්පාදනයන් වෙත පාරිභෝගිකයින් යොමු වීම අවම කිරීමටත්, 1999 අංක 08 දරණ දුම්කොළ බදු පනත හා 2006 අංක 27 දරණ ජාතික අධිකාරි පනත් අනුව දුම්කොළ නිෂ්පාදනය හා මධ්‍යසාර නිෂ්පාදනය නීතිය ක්‍රියාත්මක කිරීමත්, රටක තිරසාර පැවැත්මට දායක වේ. රටක් ලෙස සියලුම පරිමාණයේ ව්‍යවසායකයින් ආරක්ෂා කිරීම කළ යුතුය. එහෙත් අනවසර, නීත්‍යානුකූල නොවන හෝ මිනිසාට බෙහෙවින් හානිකර, කිසිඳු නියමනයක් නොමැති ව්‍යාපාරයන් රටක ආර්ථිකයට කිසිඳු දායකත්වයක් නොදක්වන අතර එය මානව පැවැත්මට ද තර්ජනයකි. එහෙයින් එවැනි ව්‍යාපාරයන් පිටු දකිමින් පාරිභෝගික අවශ්‍යතා වෙනුවෙන් නීතිමය විකල්පයන් අනුගමනය කිරීම සඳහා රජය ව්‍යාපාරික ප්‍රජාව බලගැන්වීම අතිශය වැදගත් වේ.