ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදනායතනය වන INSEE සිමෙන්ති සමාගමට පූරන අනුබද්ධිත ආයතනයක් මෙන් ම මෙරට අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්රයේ පුරෝගාමී සමාගමක් වන INSEE Ecocycle, දකුණු ආසියානු කලාපය තුළ ප්ලාස්ටික් රහිත ගංගා සහ සමුද්‍ර පද්ධතියක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන PLEASE ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබා දෙන බව සාඩම්බරයෙන් නිවේදනය කරයි. ඊට සමගාමී ව මෙම ව්‍යාපෘතිය හරහා ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආශ්රිත පරිසර දූෂණය අවම කිරීම වෙනුවෙන් වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කිරීමට INSEE Ecocycle සමාගම අරමුණු කරයි.
ලෝහ, රබර් සහ කඩදාසි වැනි ද්‍රව්‍ය ඇතුළු ව ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් මිශ්‍ර අපද්‍රව්‍ය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වර්තමානය වන විට සැලකිය යුතු මට්ටමේ අභියෝගයකට මුහුණ දී සිටින අතර, මෙම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේ පිරිවැය අධික බව නිසා එම අපද්‍රව්‍ය බහුල ලෙස කුණු කදු වලට බැහැර කරන බව පෙනෙන්නට තිබෙන කරුණකි. INSEE Ecocycle සමාගම මෙම ව්‍යාපෘතිය මගින් එම ගැටලුව සඳහා පිළියම් යෙදීම වෙනුවෙන් ජනතාව සමඟ සමීප ව කටයුතු කරමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට ද අරමුණු කරයි.
මෙම ව්‍යාපෘතිය මගින් පුත්තලම ප්‍රදේශය ආශ්රිත ව කාන්තාවන්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන සම්පත් ප්‍රතිසාධන මධ්‍යස්ථානයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, එහි දී ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් අපද්‍රව්‍ය වටිනා සම්පත් බවට පරිවර්තනය කිරීම සහ ඒවා නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගැනීම හරහා ප්රතිලාභ ලබා ගැනීම ප්‍රධාන වශයෙන් අපේක්ෂිත ය.
PLEASE යනු, ලෝක බැංකුවේ අරමුදල් සම්පාදනයෙන් සහ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNOPS) සහයෝගයෙන් යුතු දකුණු ආසියානු සහයෝගීතා පරිසර වැඩසටහන (SACEP)විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියක් වන අතර, දකුණු ආසියානු කලාපයේ සමුදුර සහ ජලාශ වෙත ප්ලාස්ටික් අපද්‍රව්‍ය මිශ්‍ර වීම වැළැක්වීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම එම ව්‍යාපෘතියේ අරමුණයි. අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්රය ආශ්රිත ව දශක දෙකකට අධික විශේෂඥ දැනුමකින් සහ පළපුරුද්දකින් යුතු INSEE Ecocycle, ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය ප්රශස්ත අයුරින් බැහැර කිරීම, ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ සමස්ත අපද්‍රව්‍ය කළමනාකරණය ආශ්‍රිතව විසඳුම් ලබා දෙන විශේෂඥයෙකු ලෙස ප්රලටව ඇත.
මේ පිළිබඳ ව අදහස් දක්වමින් INSEE Ecocycle සමාගමේ සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ, “PLEASE ව්‍යාපෘතිය සඳහා සහයෝගය ලබා දීමට හැකි වීම අප ලැබූ ගෞරවයක් විදියට හඳුන්වා දීමට පුළුවන්. ප්ලාස්ටික් අපද්‍රව්‍ය අපගේ සාගර පරිසරයේ සෑම අස්සක් මුල්ලක් නෑර ම පැතිරී ම නිසා විවිධ සාගර පරිසර පද්ධති විනාශ වීමේ තර්ජනයකට ලක් වී තිබෙනවා. ඒ වගේ ම මෙම ගැටලුව නිසා බොහෝ සාගර ජීවීන් වඳ වීමේ තර්ජනයට මුහුණ පා තිබෙන බවත් සඳහන් කළ යුතු ම කරුණක්. කාන්තාවන් සහ ප්‍රාදේශීය ජනතාව සවි බල ගන්වමින්, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආශ්රිත පරිසර දූෂණය අවම කිරීම සඳහා විසඳුම් ලබා දීමට අපට හැකියාව තිබෙනවා.” යනුවෙනි.
කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන සම්පත් ප්‍රතිසාධන මධ්‍යස්ථාන (MRF) පිහිටුවීම හරහා දේශීය කාන්තාවන්ට රැකියා අවස්ථා ලබා දීම මගින් ඔවුන්ට ස්ථාවර ආදායම් මාර්ගයක් නිර්මාණය කර දීම, ඔවුන්ගේ ජීවනෝපායන් නඟා සිටුවීම සහ සමස්ත ජනතාවගේ ආර්ථිකය සංවර්ධනයට දායක වීම මෙම ව්‍යාපෘතිය හරහා අපේක්ෂා කෙරෙන ප්‍රධානතම ප්රතිලාභ ලෙස දැක්විය හැකි ය. කාන්තාවන් සවි බල ගැන්වීමෙන් සහ ඔවුන්ට මූල්‍ය ස්වාධීනත්වය ලබා දීමෙන්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය සඳහා ද ඉඩ හසර නිර්මාණය වන අතර, ඒ හරහා දිළිඳුකම අවම කරමින්, කලාපයේ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීම ද මෙම ව්‍යාපෘතියේ ප්‍රමුඛතම අරමුණකි. එමෙන් ම මෙම ව්‍යාපෘතිය මගින් නිසි ලෙස කළමනාකරණය කරමින් තත්ත්ව පාලන ක්‍රියාමාර්ග යටතේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික්වල වෙළෙඳපොළ වටිනාකම ඉහළ යාම ද එමගින් ලැබෙන තවත් ප්‍රතිලාභයක් ලෙස සඳහන් කළ හැකි ය.
PLEASE ව්‍යාපෘතිය හරහා නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීම පිළිබඳ ව දැනුවත් කිරීමේ වැඩසටහන්, වෙරළ සහ කලපු ආශ්රිත ව පිරිසිදු කිරීමේ වැඩසටහන් ආදී වැඩසටහන් ගණනාවක් සැලසුම් කර ඇති අතර, නිවැරදි ප්‍රතිචක්‍රීකරණ හා ඇසුරුම් ක්‍රියාවලියක් හරහා ලැබෙන මූල්‍ය ප්රතිලාභ පිළිබඳ ව මෙම ක්ෂේත්රය ආශ්රිත ව්‍යාපාරිකයින් දැනුවත් කිරීමේ වැඩමුළු ද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ. දකුණු ආසියාව ආශ්රිත ව වාර්ෂිකව ඝන අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් මිලියන 334ක් ජනනය වන අතර, ඉන් 70% – 80% අතර ප්‍රමාණයක් සාගරයට මුදා හැරෙන බව වර්තා වේ. මේ අතරින් 12%ක් ප්ලාස්ටික් වේ. දකුණු ආසියානු කලාපය තුළ ජල මූලාශ්‍රවලට ප්ලාස්ටික් එකතු වීම නිසා සිදු වන ජල දූෂණයට මුහුණ දීම සඳහා නව විසඳුම් ලබා දීම තුළින් අනාගත පරපුරට තිරසාර පරිසරයක් නිර්මාණය කිරීම PLEASE ව්‍යාපෘතියේ අරමුණයි.