ඉදිරි මාස දෙකක පමණ කාලයක දී ක්‍රීඩා පුහුණුවට සහ කළමනාකරණ උපාධියක් හැදෑරීම සඳහා අමෙරිකාව බලා පිටත්ව යන බව ශ්‍රී ලංකා මීටර් 800 ධාවන ශූරී තරුෂි කරුණාරත්න පවසනවා. විශ්වවිද්‍යාල කිහිපයකින්ම තමන්ට ඇතුළත් වීමේ අවස්ථා ලැබී තිබුණ ද ක්‍රීඩාව සහ අධ්‍යාපනය යන අංශ දෙකම කළ හැකි ස්ථානයක් තමන් තෝරා ගැනීමට කල් ගත් බවයි ඇය පවසන්නේ. අමෙරිකා විශ්වවිද්‍යාලයෙන් තමන්ට ක්‍රීඩා පුහුණුවීම් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා දීමට එකඟතාව පළ කර ඇති හෙයින් මෙය වඩාත් සුදුසු ස්ථානයක් බවටත් එබැවින් ඒ සඳහා මෙරටින් පිටත්ව යන බව ද තරුෂි සඳහන් කර තිබෙනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය පවසා තිබුණේ, “මුලින්ම මගේ ඉලක්කය වුණේ පැරිස් ඔලිම්පික් උලෙළට සුදුසුකම් ලබා ගන්න. ඒකට ගොඩක් කැපවීම් කළා. ක්‍රීඩාව වගේම ඉගෙන ගන්නත් මට අවශ්‍යයි. අමෙරිකාවේ හිටියත් දේශීය තරගවලට හා ජාත්‍යන්තර තරගවල දී ශ්‍රී ලංකාව නියෝජනය කරන්න මම එනවා. ” යනුවෙන් තරුෂි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.