මෙරට දළ දේශීය නිෂ්පාදනයෙන් 7%ක ප්‍රමාණයක් නියෝජනය කරනුයේ කෘෂිකර්මාන්තයයි. ඊට ධීවර කර්මාන්තය මෙන්ම පශූ සම්පත් කර්මාන්තයද ඇතුළත් වේ. කලක් කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත රටක් වූ ශ්‍රී ලංකාව අද විට ලෝකයේ භාවිත කරන නව්‍යකරණ කෘෂිකාර්මික භාවිතයන් තුළින් මෙරට කෘෂිකර්මාන්තයද ඉහළ නැංවීමට කටයුතු කරමින් සිටිනුයේ විවිධ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමිනි. ඒ යටතේ කෘෂිකර්මාන්තය සඳහා වන වියදම් අවම කරමින් වැඩි ඵලදායීතාවක් ලබා ගැනීමට අවධානය යොමු කර ඇත්තේ සේවක ප්‍රමාණයද අවම කරමිනි. තාක්ෂණය හා යන්ත්‍රෝපකරණ භාවිතය මෙන්ම පාරිසරික, සමාජීය හා පාලන ක්‍රමවේදයන්හි බලපෑම තුළින් ශ්‍රී ලාංකේය නිෂ්පාදන ඵලදායීතාව හා තත්වය ඉහළ නැංවීම තුළින් උපරිම ලාභයක් අත්කර ගැනීමටත් ඒ තුළින් ජාතික ආර්ථිකය නගා සිටුවීමටත් අවකාශ උදා වේ.
ශ්‍රී ලංකාවේ බොහෝ කෘෂිකාර්මික අංශ ඉහත දැක්වූ සාධකයන් තුළින් මේ වන විටත් සාර්ථකත්වයේ ගමනක් අරඹමින් සිටියි. එවන් සාර්ථක ගමනක යෙදෙන මෙරට සුවිශේෂී කෘෂිකාර්මික සාධකයක් ලෙස දුම්කොළ කර්මාන්තය සඳහන් කළ හැකිය. මේ වන විට නවතම තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඉහළ ඵලදායීතාවක් අත්පත් කර ගැනීමට සමත්ව ඇති මෙරට දුම්කොළ කර්මාන්තය පාරිසරික, සමාජීය හා පාලන සාධකයන් මනාව පාලනය කරමින් මෙරට ආර්ථිකයටද සැලකිය යුතු දායකත්වයක් ලබා දෙමින් සිටී.
විශේෂයෙන් දුම්කොළ වගාවේදී නවීන තාක්ෂණය තුළින් පරිසරයට අවම බලපෑමක් සිදු වන අයුරින් දුම්කොළ වගාව පවත්වාගෙන යාමට හැකි වීම වර්තමානයේ දුම්කොළ වගාකරුවන් ලද ජයග්‍රහණයකි. කොළ පැහැ පත්‍රවල සිට වියළි පත්‍ර දක්වා මනා ස්වභාවික පරිවර්තනයක් තුළින් හොඳ ආදායමක් ලාබ ගැනීමට මේ තුළින් අවකාශ උදා වන්නේ පත්‍ර නෙලා ගැනීමේ පහසුව හා වගා කිරීමේ පහසුවද සලසා දෙමිනි. දුම්කොළ සජීවී කාබන් පසට එකතු කරනු ලබන අතර එය පසෙහි භෞතික හා ජීව විද්‍යාත්මක ගුණාංග දිගුකාලීනව පවත්වාගෙන යාමටද හේතුවක් වන අතර වගාව පවත්වාගෙන යැමේදී අවම කෘෂි රසායන භාවිතය හා අවම පළිබෝධ භාවිතය සහිත වගාවක් වීමද එහි ඇති තවත් විශේෂත්වයකි. මේ හේතුවෙන් පරිසරයට එකතු වන විෂ ද්‍රව්‍ය අවම කිරීමේ වගාවක් ලෙසද මෙය සඳහන් කළ හැකිය.
ගොවි ආර්ථිකයට මෙන්ම රටේ ආර්ථිකයකටද ඍජු බලපෑමක් ඇති කරන, පහසුවෙන් සිදු කළ හැකි මෙවන් වගාවක් ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් ඒවා වගා කරන ගොවීන් නව තාක්ෂණය හා ආයෝජනයන් පිළිබඳව දිරි ගැන්වීම අනිවාර්ය වේ. එසේම වගාව පවත්වාගෙන යාම පිළිබඳව තාක්ෂණික, ආයෝජන සහයෝගය හා දැනුවත් කිරීම තුළින් ගොවීන් නගා සිටුවීමට කටයුතු කිරීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව ඇත.
තවද ශ්‍රී ලංකාව තුළ තිරසාර කෘෂි භාවිතයන් ප්‍රවර්ධනය කිරීම කෙරෙහි වගකිවයුතු ආයතනයන්හි අවධානය යොමු විය යුතු අතර තිරසාර කෘෂි භාවිතයන් ගොවියා අතරට ගෙන යාම ආයතන මඟින් සිදු කළ හැකිය.
සැබැවින්ම මෙරට වගා ක්රමයන් වෙනුවෙන් නව්‍ය තාක්ෂණය යොදා ගැනීම තුළින් තිරසාර බලපෑමක් මෙන්ම ආහාර සුරක්ෂිතතාවක් ඇති කරගත හැකිද යන්න බොහෝ දෙනා තුළ පවතින දෙගිඩියාවකි. නියමිත ආකාරයෙන් ඒ ඒ වගාවට ගැලපෙන තාක්ෂණය යොදා ගැනීම තුළින් වගාව සඳහා වන වියදම පාලනය කර කර ගැනීම පහසුවෙන් කළ හැකිය. එසේම මෙම නවතම තාක්ෂණය හේතුවෙන් ඵලදායීතාව වඩා ඉහළ යන අතර ඒ නිසාම වගාවෙන් ලැබෙන ප්‍රතිලාභයද ඉහළ අගයක් ගනී. මෙහි ඇති විශේෂ කරුණ වන්නේ නව තාක්ෂණය හේතුවෙන් සාම්ප්‍රදායික ගොවිතැන ව්‍යාපාරික කෘෂිකර්මාන්තයක් බවට පරිවර්තනය වීමයි.
නව කෘෂිකර්ම භාවිතයන් අනුගමනය කිරීම තුළින් වඩා උසස් නිෂ්පාදනයක් ලබා ගැනීමට අවස්ථාව උදා වන අතරම ඒ නිසාම සෞඛ්‍ය හා යහ පැවැත්මද ඉහළ යනු ඇත. ගොවි බිමේ ආරක්ෂාවද නවීන තාක්ෂණය තුළින් තහවුරු වේ. තවද වඩා හොඳ ඵලදාව හේතුවෙන් හොදු වෙළෙඳපොලක් නිර්මාණය වන අතරම තරඟකාරී මිලක් යටතේ වැඩි පාරිභෝගික ආකර්ෂණයක් දිනා ගැනීමටද මෙය හේතුවෙක් වනු ඇත. බෝග වගාවන් හිදී විද්‍යාත්මක මඟ පෙන්වීම තුළින් වඩා නිවැරදි තීරණ ගැනීමට කටයුතු කිරීම දිගු කාලීන ප්රතිලාභ ලබා ගැනීමට ඉතා වැදගත් වේ.
තවද මෙහිදී වැදගත් විය යුතු කරුණක් වන්නේ ගොවිතැන් හා ව්‍යාපාර සඳහා වන රජයේ මැදිහත් වීමයි. විශේෂයෙන් ගොවීන් දිරි ගැන්වීම හා ඔවුන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීම තුළින් ජාතික ආර්ථිකයටද ඔවුන්ගේ සැලකිය යුතු දායකත්වයක් ලබා ගැනීමට රජයට හැකියාව උදා වේ.