මෙරට ප්‍රවාහන ක්ෂේත්රය ආශ්රිත ප්‍රමුඛතම ජංගම යෙදුම ක්‍රියාත්මක කරන Uber සමාගම, ශ්‍රී ලංකාවේ සිය ප්‍රධානියා ලෙස කෞශල්‍යා ගුණරත්න මහත්මිය පත් කර ඇති බව නිවේදනය කරයි. ගුණරත්න මහත්මියගේ පෙර භූමිකාව තුළ දී Uber Eats හි වෙළෙඳ ජාලය ශක්තිමත් කිරීම සහ ආදායම් වර්ධන උපාය මාර්ග සකස් කිරීම හරහා දේශීය මෙහෙයුම් කටයුතු සඳහා මනා දායකත්වයක් ලබා දෙමින් ගෝලීය සහ කලාපීය කණ්ඩායම් සමඟ සහයෝගයෙන් කටයුතු කළ අතර, මෙම නව පත් කිරීමත් සමඟ ඇය වෙත Uber Rides සේවාවේ මෙහෙයුම් කටයුතු පැවරීමට Uber සමාගම කටයුතු කර ඇත.
Uber හා සම්බන්ධ වීමට පෙර ඇඟලුම් ක්ෂේත්රය ආශ්‍රිතව සේවය කළ ගුණරත්න මහත්මිය, ප්රමුඛ පෙළේ ගෝලීය සන්නාම සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ව්‍යාපාර සංවර්ධනය, උපාය මාර්ග සහ සැලසුම්, සැපයුම් දාම කළමනාකරණය සහ මූල්‍ය කටයුතු පිළිබඳ අත්දැකීම් සම්භාරයක් හා මනා පළපුරුද්දක් ලබා ඇත.
මෙම නව පත්වීම පිළිබඳ ව අදහස් දක්වමින් Uber සමාගමේ ඉන්දියාව සහ දකුණු ආසියාව ආශ්රිත මෙහෙයුම් අධ්යක්ෂ ශිව ශෛලේන්ද්‍රන් මහතා පැවසුවේ, “ශ්‍රී ලංකාව තුළ Uber සේවාව මෙහෙයවීමේ සහ එය තවදුරටත් වර්ධනය කිරීමේ භාරදූර වගකීම කෞශල්‍යා ගුණරත්න මහත්මිය වෙත භාර දීම පිළිබඳ ව අපි සතුටට පත් වෙනවා. Uber සමඟ පැමිණි ගමන මඟේ දී ඇය, තමා විශිෂ්ට සහයෝගිතාවකින් යුක්ත, සැලසුම් කරණයෙහි අති දක්ෂ වෘත්තිකයෙකු බවත්, සමාගමේ වර්ධනය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් පාරිභෝගික තෘප්තිමත් භාවය වර්ධනය වන සේවාවක් ප්‍රවර්ධනය කිරීමට නිරන්තරයෙන් කැප වන බවත් ඔප්පු කර තිබෙනවා. ඇයගේ මෙම නව පත් වීම, Uber සමාගම සිය සේවකයින්ගේ වෘත්තීයමය වර්ධනය සඳහා ලබා දෙන සහයෝගයට හොඳ ම උදාහරණයක්. 2015 වසරේ දී ශ්‍රී ලංකාව තුළ අපගේ මෙහෙයුම් කටයුතු ආරම්භ වූ මොහොතේ පටන් අප ගොඩනඟා ගත් පාරිභෝගික ආදරය සහ විශ්වාසය වර්ධනය කිරීමට ගුණරත්න මහත්මියට හැකි වනු ඇතැයි අපි විශ්වාස කරනවා.” යනුවෙනි.
Uber ශ්‍රී ලංකා සමාගමේ දේශීය ප්‍රධානී කෞෂල්‍යා ගුණරත්න මහත්මිය අදහස් දක්වමින්, “මා වෙත පැවරුණු මෙම නව කාර්යභාරය හරහා Uber mobility ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ තව තවත් වර්ධනය කරා ගෙන යාමට ලැබීම පිළිබඳ ව මම සතුටු වෙනවා. දීර්ඝ කාලීන අර්බුදකාරී වාතාවරණයකින් පසු, ශ්‍රී ලාංකේය ජාතිය නැවත ගොඩනැඟෙමින් පවතින මේ මොහොතේ දී අපගේ රියදුරන්ට වගේ ම මගී ජනතාවටත් ප්රතිලාභ රැසක් ලබා දෙන, සුවිශේෂී ප්‍රවාහන සේවාවක් තහවුරු කිරීමට අපි කැප වෙනවා. මම අපගේ කණ්ඩායම සමඟ සුහදශීලී ව කටයුතු කරමින්, Uber වෙතින් ලබා දෙන නවතම සේවාවන් අපගේ සුන්දර රටට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළාය.
2015 දී ආරම්භ කළ දින සිට, Uber ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රවාහන සේවාවක් ලෙස පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීමට සමත් විය. වර්තමානය වන විට මෙරට නගර 40කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරමින් දහස් ගණනක රියදුරු හවුල්කරුවන් සඳහා ඉපැයීමේ අවස්ථා විවෘත කර දී ඇති Uber විසින්, මෑතක දී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමඟ අත්වැල් බැඳ ගනිමින් ගුවන් තොටුපළ ආශ්රිත ප්‍රවාහන සේවා වැඩි දියුණු කිරීම වෙනුවෙන් විශේෂිත පික්-අප් ස්ථානයක් ස්ථාපනය කිරීමට ද පියවර ගැනිණි.