ඊශ්‍රායල සහ පලස්තීන ගැටුම් ආරම්භ වී ගෙවෙන පස්වන දිනය වන අද (11) වනවිට දෙපාර්ශවය අතර සටන් ඉතා තීවෘ වී ඇත්තේ විශාල දේපල හා ජීවිත හානි සංඛ්‍යාවක් සිදුකරමිනි.
ඊශ්‍රායලය, යුද්ධය ආරම්භ වූ දා සිටම ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කරමින් සිටී. මේ ගුවන් ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පාසල්, ආරෝග්‍යශාලා ඇතුළු රජයේ මෙන්ම පෞද්ගලික දේපල ද විශාල වශයෙන් විනාශ වී තිබෙනු දැකිය හැකිය. මීට අමතරව ඊශ්‍රායල ආරක්ෂක අංශ ගොඩමිබින් හා සයුරෙන් ද ගාසා තීරයට ප්‍රහාර දියත් කිරීම දිගින් දිගටම සිදු කරයි.
දෙපාර්ශවයටම එල්ලවන මෙම ප්‍රහාර හමුවේ මේ වනවිට දෙරටේ ම සිවිල් වැසියන් 2000ට අධික පිරිසක මරණයට පත් වී තිබේ. මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ හමාස් සටන්කරුවන් ද 1500 වැඩි පිරිසක් මේ වනවිට මියගොස් තිබේ.
යුද්ධය එලෙස දරුණු අතට හැරෙමින් තිබෙන නමුත් හමාස් සටන්කරුවන් ඊයේ (10) ප්‍රකාශ කර සිටියේ මෙම අර්බුදයට නිවැරදි විසඳුමක් ලැබෙනාතුරු තමා භාරයේ සිටිනා කිසිඳු ප්‍රාණ ඇපකරුවෙක් නිදහස් නොකරන බවයි.
මේ අතර ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශය ඊශ්‍රායල භටයන්ට ගාසා තීරය “පූර්ණ වැටලීමක්” සඳහා සූදානම් වන ලෙස අණ ලබා දී තිබේ. ඒ අනුව මාධ්‍ය අමතමින් ඊශ්‍රායල ආරක්ෂක ඇමති යෝඅව් ගැලන්ට් අවධාරණය කළේ, ගාසා තීරය වෙත තම භටයන් දහස් ගණනක් මේ වනවිට අනියුක්ත කොට ඇති බවත් අප අපට භාරදුන් කර්තව්‍ය ඉටු කිරීමට සූදානම් බවත් ය. ඔහුගේ මේ ප්‍රකාශයෙන් බොහෝ දුරට අදහස් වන්නේ ඔවුන් පෙර සඳහන් කළ “ගොඩබිම් ආක්‍රමණයට” සියලු කටයුතු සූදානම් වී ඇති බවයි.
නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන පරිදි ඊශ්‍රායලයට ගාසා තීරය පූර්ණ වැටලීමක් කිරීමට නොහැකි බවත් ඔවුන් එසේ සිදු කළහොත් එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් වන බවත් ය.
මෙලෙස ඊශ්‍රායලය දියත් කළ ඔවුන්ගේ පලි ගැනීමේ මෙහෙයුම නිසා ගාසා තීරයේ සියලුම ආරෝග්‍යශාලා, රෝහල් හා පාසල් වල තිබූ ආහාර, ඖෂධ හා විදුලිය ඇණහිට තිබේ. මේ නිසා පලස්තීන සෞඛ්‍ය ඇමතිවරයා වහා ක්‍රියාත්මකවන පරිදි ගාසා තීරයේ රෝහල් වෙත ඖෂධ සැපයීමට අවශ්‍ය “ආරක්ෂිත කොරිඩෝවක්” නිර්මාණය කර දෙන ලෙස ඉල්ලා සිටියේය.
මේ අතර ලෙබනනයේ අවිගත් සංවිධානයක් වන හිසබොලා නැවත වරක් ඊශ්‍රායලයට ගුවන් ප්‍රහාර කිහිපයක් එල්ල කොට තිබුණි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කොට සිටියේ ඊශ්‍රායල ප්‍රහාර මගින් තම සංවිධානයේ තිදෙනෙකු මිය යාමට එකට එක කිරීමක් ලෙස මෙය සිදුකළ බවයි.
නමුත් සමස්ත ලෝකයම ඉදිරි පැය 24 ඊශ්‍රායලය දෙසට යොමුව ඇත්තේ ඔවුන් ගාසා තීරයට එරෙහිව කිරීමට යන ගොඩබිම් ප්‍රහාරය කෙසේවේද යන්න පිළිබඳව ය.
රසිත ජයවීර