ශ්‍රීලංකාව හා ඉන්දියාව අතර ඊයේ (12) පැවති තරගයෙන් ලකුණු 41 ක ජයක් ලැබීමට ඉන්දියාව සමත් විය. ඒ මෙතෙක් තරග 13ක් පිට පිට ම ජයගෙන ශ්‍රීලංකාව පැමිණි ජයග්‍රණ රැල්ලට තිත තබමිනි.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 213 කට සීමා කිරීමට නවක දුනිත් වෙල්ලාලගේ ප්රමුඛ දඟ පන්දු බලඇණියට හැකියාව ලැබුණි.
එහිදි රෝහිත් ශර්මා 53ක් සහ කේ.එල් රාහුල් 39ක් ලබාගැනීමට සමත් විය. මෙහිදී රෝහිත් ශර්මා සිය එක්දින දිවියේ ලකුණු 10,000 සීමාව පසු කිරීමට සමත් වීම ද කැපී පෙනෙන ලක්ෂණයක් විය. මෙහිදී ඔහු වාර්තාපොත් අතරට එක්වූයේ ඉන්දියාව වෙනුවෙන් ලකුණු 10,000 සීමාව පසු කළ 6 වන ක්‍රීඩකයා මෙන්ම ලොව 15 වන ක්‍රීඩකයා ලෙසය.
දුනිත් වෙල්ලාලගේ ඉන්දියානු ඉනිමේ කඩුළු 5ක් ලකුණු 40කට ලබා ගනිද්දී චරිත් අසලංක ලකුණු 18කට කඩුළු 4ක් බිඳ දැමීය. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමක සියලුදෙනා දඟ පන්දු යවන්නන්ට දැවී ගිය පළමු අවස්ථාවද මෙය වේ.
214 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රීලංකා පිතිකරුවන්ට පන්දුවාර 41.3 කදී සියලුදෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 172ක් පමණී.
එහිදී තරගය ජයග්‍රහණය වෙත ගෙන යාමට ධනංජය සිල්වා (41) හා දුනිත් වෙල්ලාලගේ (42*) මහත් වෙහෙසක් දැරීය.
ඉන්දියාව වෙනුවෙන් කුල්දීප් යාදෙව් පෙර තරගයේ මෙන්ම සුපිරි පන්දුයැවීමක නිරත වූ අතර ඔහු ලකුණු 43 කට කඩුළු 4ක් බිඳ දැමීය.
තරගයේ වීරයා සම්මානය පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේට හිමිවිය.
රසිත ජයවීර