වසර හතරකට වරක් ලොව ප්‍රබල රටවල් උරෙන් උර ගැටෙමින් එකිනෙකාගේ ශක්තිය මැන බලන ලෝක කුසලාන රග්බි තරගාවලිය අද(08) සිට ප්‍රංශයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ.
10 වන වතාවටත් පැවැත්වෙන රග්බි ලෝක කුසලානය ආරම්භ කරමින් ශ්‍රීලංකා වේලාවෙන් හෙට (09) අලුයම 12.45 ට සත්කාරක ප්‍රංශය හා නවසීලන්තය (All Blacks) තරග වැඳීමට නියමිත ය.
කාර්යබහුල සති අන්තයක් අරඹමින් Stade de France ක්‍රීඩාංගණය දෙවනක් කිරීමට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර ඇති අතර ප්‍රංශයේ මර්සිලී නගරයේ ප්‍රේක්ෂක ආකර්ෂණය වඩාත් ලැබෙනා තීරණාත්මක තරග දෙකක් පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී එංගලන්තය හා ආජන්ටිනාව සැප්: 10 අලුයම 12.30 ට Stade Velodrome පිටියේ දී එකිනෙකා මුණගැසීමට නියමිත අතර වත්මන් ලෝක ශූර දකුණු අප්‍රිකාව හා ස්කොට්ලන්තය ඊට පසුදින රාත්‍රී 9.15 ට B කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතව තිබේ.
ප්‍රංශය හා නවසීලන්තය අතර පැවැත්වෙන ආරම්භක තරගයේ පෙළගැස්ම මේ වනවිට ප්‍රකාශයට පත් කර ඇති අතර Center ක්‍රීඩකයන් වන ප්‍රංශයේ ජොනතන් ඩැන්ටි හා නවසීලන්තයේ ජෝර්ඩි බැරට් ක්‍රීඩා නොකරනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අද සිට මාස එක හමාරක කාලයක් කණ්ඩායම් විස්සක් සිය ශක්තිය හා අභිමානය ලොවට ප්‍රදර්ශනය කරමින්, එකම කුසලානයක් උදෙසා සටන් වදින උද්වේගකර තරග උණුසුම ලොව පුරා විහිදන්න 2023 ලෝක කුසලාන තරගාවලි සංවිධායකයින් සියලු කටයුතු සූදානම් කොට තිබේ.
රසිත ජයවීර