එළැඹෙන නොවැම්බරයේ දී පැවැත්වීමට තීරණය කර ඇති අපොස උසස් පෙළ විභාගය කල්දමා දරුවන්ට සිදුවන අසාධාරණය වළක්වන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස බළධාරීන්ගෙන් ඉල්ලයි.
“පාලකයන්ගේ අසමත් බව වසා ගැනීමට උසස් පෙළ සිසුන්ගේ අනාගතය බිලිදීම නවතා දමනු” යන මාතෘකාව යටතේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදි ඔහු පෙන්වාදෙන්නේ මෙම වර්ෂයේ අපොස උසස් පෙළ සිසුන්ගේ අයිතිවාසිකම් සහ ප්‍රායෝගික තත්ත්වයන් නොසලකා හරිමින් විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් 2022 වසරේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කර නොමැති පසුබිමක මෙම වසරේ උසස් පෙළ විභාගය එළැඹෙන නොවැම්බර් මාසයේ දී පැවැත්වීමට සැලසුම් කිරීම නිසා දරුවන්ට දැඩි ආසාධාරණයක් සිදුවන බවත් ය.
එමෙන්ම විෂයන් වෙනස් කර යළිත් විභාගයට පෙනී සිටින දරුවන්ට මෙය කිසිසේත්ම ප්‍රමාණවත් කාලසීමාවක් නොවන බවත් මෙම තත්ත්වය නිසා ඇතැම් සිසුන්ගේ සරසවි සිහිනය ද බොදවනු ඇති බවත් ඔහු සඳහන් කළේය.