පෙරදී පුරෝකථනය කර තිබූ පරිදි රුපියල් බිලියන 32ක අලාභය පියවීමට 22% ක විදුලි ගාස්තු වැඩිවීමක් අවශ්‍ය බව පැවසූවද පවතින තත්වය මත එය 18% ක ගාස්තු වැඩිවීමකට සීමා කිරීම ප්‍රමාණවත් බව විදුලි බල මණ්ඩලය පවසයි.
ඔවුන් මේ බව සඳහන් කළේ මහජන උපයෝගිතා කොමිසම ඊයේ(18) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වූ යෝජිත විදුලි ගාස්තු වැඩිකිරීම පිළිබඳ අදහස් විමසීමේ වැඩසටහනකට සහභාගී වෙමිනි. පසුගිය ජූලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කළ අතර මීළග සංශෝධනය සිදු කිරීමට තිබුණේ ලබන වසරේ ජනවාරියේ දීය. නමුත් මේ මසදී 22% ක ගාස්තු වැඩිවීමක් හෝ විදුලි ඒකකයක් රුපියල් 8 කින් වැඩි කිරීමට මේ මසදී අවශ්‍ය බව විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී තිබුණේය.