මේ යල කන්නයේදී නියඟයේ බලපෑම හේතුවෙන් වී වගාවට සිදුව ඇති හානිය තක්සේරු කිරීම වහා අරඹන්නැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී ඇත.
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේදා (06) අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවි නියෝජිතයන් සමඟ ඇමැතිවරයා සිදු කළ සාකච්ඡාවකින් පසු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතාට ඇමැතිවරයා මේ උපදෙස් දී තිබේ.
එමෙන්ම හානියට පත් වන වී වගාව සඳහා දැනට ලබා දෙන වන්දි මුදල වැඩි කළ හැකිදැයි සොයා බලන ලෙස ද ඇමැතිවරයා සභාපතිවරයාට දැනුම් දී ඇත.
නියඟයේ බලපෑම නිසා අනුරාධපුර මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්ක ගණනාවක වී වගාවට හානි සිදු වී ඇති අතර, නියඟය නිසා මෙවර වගා හානි වැඩිපුරම සිදුව තිබෙන්නේ උඩවලව ජලාශය හා චන්ද්‍රිකා වැව යටතේ කුඹුරු වගා කර තිබෙන ගොවීන්ට බව ද මේ සාකච්ඡාවේදී ඇමැතිවරයා අනාවරණය කර ඇත. එමෙන්ම ඇමැතිවරයා අවධාරණය කර ඇත්තේ මේ සියලු ගොවීන්ට වගා හානි වන්දි ගෙවීමෙන් පමණක් සිදුවූ හානිය ලඝු කළ නොහැකි බවයි.
පසුගිය වසරේ (2022) වගා හානි සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් රුපියල් මිලියන 1700කට ආසන්න මුදලක් වැය කර තිබේ. ඒ අනුව මෙවර සිදුව ඇති වගා හානි සඳහා මෙයට වඩා මුදලක් වැයවනු ඇතැයි අනුමාන කෙරේ. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මඟින් මේ වන විට බෝග හයක් සඳහා නොමිලේ රක්ෂණාවරණයක් දීම සිදු කරයි. ඒ අනුව වී, මිරිස්, බඩඉරිඟු, සෝයා බෝංචි, අර්තාපල් හා ලොකු ලූනු සඳහා කාලගුණික හේතූන් නිසා සිදුවන වගා හානි වීමකදී අක්කරයකට රුපියල් 40,000ක් බැගින් හෙක්ටයාර එකකට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙයි. මෙම මුදල දායක මුදලකින් තොරව ලබා දෙන අතර, රුපියල් 6400ක දායක මුදලක් ලබා ගැනීම මඟින් අක්කරයකට රුපියල් ලක්ෂය බැගින් හෙක්ටයාර එකකට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් ලබා ගැනීමට ද පහසුකම් සලසා තිබේ.
මෙම වගා හානි ලබා දීම කිසිසේත්ම ප්‍රමාණවත් යැයි තමන් විශ්වාස නොකරන බවත් ගොවි ජනතාවට සමනල වැව ජලාශයෙන් එක් වතුර මුරයක් හෝ ලබා දුන්නේ නම් දැනට හානි වී තිබෙන ගොයම්වලින් සියයට 60ක් පමණ බේරාගත හැකි බවත් ඇමැති අමරවීර මහතා මෙම සාකච්ඡාවේදී පෙන්වා දී තිබේ. ජලය ලබා දීමේ ප්‍රමුඛත්වය දෙස බලන විට පළමු ප්‍රමුඛත්වය විදුලි උත්පාදනයට ලබා නොදෙන බවත් එම නිසා මේ අවස්ථාවේ කළ යුත්තේ ගොවිතැනට අවශ්‍ය ජලය ලබා දීම බවත් අවධාරණය කර ඇති ඇමැතිවරයා පවසා ඇත්තේ එසේ නොකර වන්දි ලබාදීමෙන් ගොවි ජනතාවට සතුටක් අත්නොවන බවයි.
ගොවීන්ට වන්දි දුන්න ද එම මුදල් ආහාරයට ගැනීම කළ නොහැකි අතර, ආහාරයට අවශ්‍ය බත සපයා ගැනීමට නම් මේ අවස්ථාවේ වී වගාවට අවශ්‍ය ජලය සමනලවැවෙන් නිකුත් කළ යුතුමය යන ස්ථාවරයේ තමන් සිටින බව ද ඇමැති අමරවීර මහතා අවධාරණය කර තිබේ.
බුද්ධිකා ඉඹුලාන