රුපියල් පනස් හත් ලක්ෂයක හිඟ විදුලි බිලක් හේතුවෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරිමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.
වන අලි තර්ජන වලින් දැඩිව බැට කන ප්‍රදේශයක පිහිටා ඇති දිඹුලාගල ආරණ්‍යයේ වැඩ වසන හිමිවරුන්, මේ හේතුවෙන් තම ජීවිත දැඩි අවදානමට ලක්ව ඇති බව පවසයි
ආරණ්‍ය සේනාසනයට දානය රැගෙන දුර බැහැරින් පැමිණෙන ජනතාවද මේ ක්‍රියාව නිසා දැඩි ලෙස පීඩාවට ලක්ව ඇති බව උන් වහන්සේලා පෙන්වා දෙයි.
1982 දී එවක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා විසින් ආරණ්‍ය සේනාසනයට නොමිලේ විදුලිය ලබා දී තිබුණේ එම සේනාසනයෙන් සමාජයට සිදු කෙරෙන සුවිශේෂී ආගමික සේවාව සලකා බලමින් ය.
නමුත්, පසුගිය වසරේ සැප්තැම්බරයේ සිට ආරණ්‍ය සේනාසනයේ විදුලිය සඳහා ලංවිම බිලක් නිකුත් කිරීමට පියවර ගත් බව එහි භික්ෂූන් වහන්සේ සඳහන් කළේ ය.