නව සඳ දිස්වීම හේතුවෙන් අද (10) දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබේ.
ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාසයේ යෙදුණු අතර එම කාලය පරිත්‍යාග කිරීමේ මාසය ලෙසද හඳුන්වයි.
සමාව දීමට,ඉවසීම ප්‍රගුණ කිරීමට හා වෙනත් කාරුණික ක්‍රියාකාරකම්වලට වෙන් වූ රාමසාන් මාසය අවසාන දිනය ලෙස රාමසාන් දිනය සැලකේ.
මේ අතර රාමසාන් දින පණිඩුයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ ලොව වෙසෙන ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස කරනුයේ තමන් වෙත ද, අනුන් වෙත ද යහපත උදාකර දීමේ අරමුණ ඇතිව බවය.
මෙවර ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් භක්තිකයන් රාමසාන් සමරනුයේ පොදුවේ අපේ රට වඩාත් යහපත් මට්ටමක් කරා එළැඹෙමින් පවතින අවධියක බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
මේ අතර, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අනාදිමත් කාලයක සිට ඉස්ලාමීය ජනතාව රාමසාන් කාල සීමාවේදී තම ආගමික වතාවන් හා ප්‍රාර්ථනා අගය කරමින්, අන් අයටද උපකාර කරමින් රට තුළ පවතින සංස්කෘතික හා ආගමික විවිධත්වයට ආදර්ශමත් අරුත් ලබා දී ඇති බවය.
ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාව රටේ පාලන ක්‍රියාවලියට, ව්‍යාපාර ක්ෂේත්රයට, අධ්‍යාපන හා විවිධ වෘත්තීය ක්ෂේත්රවලට, ක්‍රීඩා හා සංස්කෘතික ක්ෂේත්රවලට ලබාදෙන සක්‍රීය දායකත්වය උදෙසා කෘතවේදීත්වය පළ කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
අප මේ වනවිට පසු කරමින් සිට ජයගෙන සිටින අතිශය අසීරු ඉලක්ක තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යාම සඳහා මුස්ලිම් ප්‍රජාව කළ කාරුණික කැපවීම ඔබ සඳහා සුවිශේෂී වූ මේ කාලපරාසයේ තව දුරටත් අපේක්ෂා කරන බව ද අගමැතිවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
මේ අතර රාමසාන් උත්සවය නිමිත්තෙන් ඉස්ලාම් දේවස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් ක්‍රියාත්මක කර තිබේ.
පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළු 7,000කට වැඩි පිරිසක් මේ සඳහා යොදවා ඇති බව පොලීසිය පැවසුවේය.