රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ප්‍රථම වරට 2024 ජූනි 29 සිට ජූලි 01 දක්වා පැල්මඩුල්ල ‘ග්‍රෑන්ඩ් සිල්වර් රේ’ හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය සංවර්ධනය ප්‍රවර්ධනය හා නියාමනය සඳහා වූ එකම ආයතනය වන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් සංවිධානය කරනු ලබන මෙම ප්‍රදර්ශනයේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ මැණික් අගනගරය ලෙස සැලකෙන රත්නපුර නගරයේ උරුමය ලොවට විදහා පෙන්වමින් එම ප්‍රදේශය තුළ නව ආර්ථික අවස්ථා උදාකර දීම ය.
මේ සම්බන්ධයෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පසුගිය ජූනි 12 දින මාධ්‍ය හමුවක් පවත්වන ලද අතර, එහිදී විශේෂයෙන්ම එම අධිකාරිය, කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා මැණික් අලෙවිකරුවන් සහ පතල්කරුවන්ගේ සංගමය සහ අනෙකුත් පාර්ශ්වකරුවන් අතර පවතින හවුල්කාරීත්වය පිළිබඳව සවිස්තරව කරුණු දක්වන ලදි. මෙම ප්‍රදර්ශනය, ලොව ඉහළම තත්ත්වයේ මැණික් සම්බන්ධයෙන් රත්නපුර නගරය සතු කීර්තිය තවදුරටත් තහවුරු කරන අතරම, 2025 වසර වනවිට ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 2 මට්ටමට රැගෙන ඒමේ ඉලක්කය සපුරාලීම සඳහා සුවිශාල දයකත්වයක් දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම ප්‍රදර්ශනයේ වැදගත්කම සම්බන්ධයෙන්, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී විරාජ් ද සිල්වා මහතා මෙසේ අදහස් පළකළේ ය. “මෙය හුදෙක් අපේ රටේ මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධ සාඩම්බර උරුමය විදහා පෙන්වන ප්‍රදර්ශනයක් පමණක් නොවෙයි. එය මෙම කර්මාන්තයේ අනාගතය සම්බන්ධයෙන් වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා. අපගේ ඉලක්කය වන්නේ රත්නපුර නගරය ලොව මැණික් වෙළඳාමේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමයි. එම නිසා, මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මෙන් මා මෙම කර්මාන්තයේ විශේෂඥයන්ට, කර්මාන්තය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නට සහ මහජනතාවට ආරාධනා කර සිටිනවා. 2024 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට ඔබ සැම සාදරයෙන් පිළිගැනීමට අප බලා සිටින්නේ ඉමහත් උනන්දුවකින්. මෙහිදී ඔබට ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ විචිත්රත්වය සහ ශිල්පීය නිපුණත්වය මැනැවින් දැකබලා ගැනීමට හැකියාව ලැබේවි.”
මැණික් නගරය යන අරුත දෙන රත්නපුරය, විශේෂයෙන්ම Corundum පවුලට අයත් නිල් මැණික් ඇතුළුව විවිධාකාර වූ මැණික් වර්ග සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රසිද්ධියක් උසුලයි. වසර දහසකට වඩා වැඩි ඉතිහාසයක් සහිත රත්නපුර මැණික් කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ජීවනාලියක් වන අතර, 2024 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේදී මෙම උරුමය සමරන වැඩසටහන් හා ප්‍රදර්ශන ඉසව් රාශියක් පැවැත්වෙනු ඇත.
“රත්නපුර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය යනු ජාත්‍යන්තර වැඩසටහනක්. එයට චීනය, ඉන්දියාව, වියට්නාමය, ජර්මනිය සහ තායිලන්තය ඇතුළු රටවල රැසක නියෝජිතයන් පැමිණෙනවා. ඔවුන්ගෙන් අපට විශාල වශයෙන් දැනුම සහ නවෝත්පාදන ලැබෙන අතරම, එය ගෝලීය මැණික් කර්මාන්තයට ප්රතිලාභ රැසක් සලසන අන්තර්-සංස්කෘතික හුවමාරු හා සහයෝගීතාවන් සඳහා මනා පදනමක් සපයනවා. එම නිසා මෙය ක්ෂේත්රයේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් සහ ක්ෂේත්රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන් ඇතුළු සියලුම දෙනාට ක්ෂේත්රයේ සෙසු සාමාජික සාමාජිකාවන් සමග සම්බන්ධ වීමට ලැබෙන අනගි ලෙස හැඳින්වීමට පුළුවන්.” විරාජ් ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසී ය.
ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා විවිධ රටවලින් හමුවන මැණික් වර්ග යොදා නිෂ්පාදනය කර, මෙම වැඩසටහනේදී ප්‍රදර්ශනය කරනු ලබන ස්වර්ණාභරණ, සාම්ප්‍රදායික ශිල්පීය නිපුණත්වයේ සහ නවීන සෞන්දර්ය කලාවන්ගේ මනා සංකලනයකි. මෙය ශ්‍රී ලාංකික ශිල්පීන්ගේ හැකියාවන්ට ජාත්‍යන්තර ප්‍රචාරණයක් ලබාදීමට ලැබෙන මහඟු අවස්ථාවක්ද වනු ඇත. එමෙන්ම මැණික් ගල් ඔප දැමීමේ සහ ස්වර්ණාභරණ නිර්මාණය කිරීමේ ප්‍රවීණයන් එම කටයුතු සිදුකරන ආකාරය සජීවීව දැකබලා ගැනීමටද ප්‍රදර්ශනය නරඹන්නන්ට අවස්ථාව ලැබේ. ඊට අමතරව, මැණික් විද්‍යාව, රත්නපුර ප්‍රදේශයේ මැණික් පතල් කර්මාන්තයේ ඓතිහාසික වැදගත්කම සහ මෙම ක්ෂේත්රය මේ වනවිට භාවිතයට ගනිමින් සිටින තිරසාර ක්‍රමවේදයන් ආදිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ සැසි පැවැත්වීමටද සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ.
2024 රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයට ඉහළ වටිනාකමකින් යුත් ප්‍රදර්ශන කුටි 80 ක් ඇතුළත් වනු ඇත. මීට අමතරව සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට තම නිෂ්පාදන ප්‍රවර්ධනය කරමින් ඒවා ජාත්‍යන්තර වෙළඳපොළ වෙත රැගෙන යාමට අත්වැලක් සැපයීම සඳහා ප්‍රදර්ශන කුටි 12 ක් වෙන් කෙරේ. මේ නිසා ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන්නන්ට, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ අංශ සියල්ලම පාහේ ආවරණය කරන නිෂ්පාදන හා සේවාවන් රාශියක් එකම වහළක් යටදී දැකබලා ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.
මැණික් පතල් කර්මාන්තය, මැණික් වෙළඳාම සහ ශිල්පීය නිපුණත්වය සම්බන්ධයෙන් ඉහළම ප්රමිතීන් ආරක්ෂා කරගනිමින් මෙරට මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය විධිමත් ලෙස නියාමනය හා ප්‍රවර්ධනය කිරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කැප වී සිටී. ඉදිරියටත් ශ්‍රී ලංකාව මැණික් කර්මාන්තයේ ප්‍රමුඛතම ගමනාන්තයක් ලෙස ලොව පුරා ප්‍රචලිත කරවීම එම අධිකාරියේ අරමුණ වී තිබේ.
2024 රත්නපුර ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට, ප්‍රදර්ශන කුටි වෙන්කරවා ගැනීමට හෝ ප්‍රදර්ශනයට සහභාගී වීමට +94713841253, +94711020811 දුරකථන අංකය, [email protected] ඊමේල් ලිපිනය හෝ https://timeztap.com/gem/ වෙබ් අඩවිය හරහා විමසන්න.