අපි බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට මේක හරි අපූරු කර්මාන්තයක්. රටට ඩොලර් මළු පිටින් ඉතිරි කරදෙන වැඩක්.
ඒ කොහොමද කියලා කියන්න නම්, පළමුවෙන්ම, මේ රටේ විදුලිබලය භාවිතාවෙන්නේ කොහොමද, මොනවටද කියන එක ගැන කියන්න වෙනවා.
මේ රටේ නිපදවෙන විදුලි බලයෙන් භාගයක්ම වැය කරන්නේ මෝටර කරකවන්න. ගෙදර විදුලි පංකාවේ ඉඳලා මහා පරිමාන කර්මාන්තයක දැති රෝදය දක්වාම කරකැවෙන්නේ ඒ මෝටර තමයි. ඒ හැම මෝටරයකම වගේ තිබෙන පොදු ලක්ෂණය තමයි ඒවා ඇතුලේ කම්බි දඟර එතිලා තියෙන එක. ෆීල්ඩ් එකේ අය මේ කම්බි ජාතියට කියන්නේ ‘එනැමල් වයර්’ කියලා. දිග්ගැස්සුවොත් මහා දුරක් අදින්න පුළුවන්, මෝටරයක් ඇතුලේ තියෙන මේ එනැමල් වයර් දඟර හරිම සංකීර්ණ සහ නූලට මිම්මට තිතට සකස්වුණු එකක්.
මෝරටයක් පිච්චුණා කියලා කියන්නේ බොහෝවිට මෙන්න මේ කම්බි දඟරයට හානි වෙන එකට. එතකොට මේ කම්බි අලුතෙන් ඔතලා මෝටරය යථා තත්ත්වයට පත්කරන්න පුළුවන්. ඒක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට යම් විශේෂඥභාවයක් තියෙන්න ඕනේ. අන්න ඒ අය තමයි ‘මෝටර් ඔතනු ලැබේ’ කියලා බෝඩ් ගහගෙන ඉන්න අය. ඒ අයට ෆීල්ඩ් එකේ කියන නම තමයි ‘වයින්ඩර්’ . මේ අය කරන්නේ මෝටර් වල කම්බි දඟරය තිබුණු විදිහටම යළි ඔතලා මෝටරයට අලුත් ජීවිතයක් දෙන එක.
සාමාන්‍ය ගෘහ උපකරණ වල ඉඳලා මිනිස්සු කීප දෙනෙක්ට අතපය දිගහැරලා ඉන්න පුළුවන් ඉඩක් ඇති තරම් විශාල විදුලි බලාගාරවල ටර්බයින් දක්වාම මේ වයින්ඩර් වැඩේ කරන පට්ට වැඩ්ඩො මේ රටේ ඉන්නවා. සාමාන්‍ය මට්ටමේ වයින්ඩර්ස්ලා ගත්තත් 3000ක් විතර රට පුරාම ඉන්නවා. මේ කටයුත්ත මහා පරිමානයෙන් කරන සමාගම් කීපයකුත් රටේ තිබෙනවා.
මෝටර් වයින්ඩින් ෆීල්ඩ් එකේ ඉන්න මේ අය නොහිටින්න කැඩෙන කැඩෙන මෝටරයට එක්කෝ අපි අලුත් මෝටරයක් දාන්න වෙනවා. මහා පරිමාන මෝටරයක් නම් පිටරට යවලා හදන්න වෙනවා. මේවා ලංකාවෙම හදාගන්න එකෙන් ඩොලර් ඉතිරිවෙනවා වගේම, කර්මාන්ත මට්ටමේ මෝටරයක් නම්, නිෂ්පාදනයට වෙන බලපෑමත් මෙයින් අවම වෙනවා. මෝටර් වයින්ඩින් කර්මාන්තය රටට ඩොලර් මළු ඉතුරු කරලා දෙනවාය කියලා මේ කථාව පටන්ගන්නකොටම අපි කියපු දේ දැන් ඔයාට තේරෙනවා ඇති.
දැන් අපි මාතෘකාවට බහිමු.
මේ මෝටර් වයින්ඩින් කර්මාන්තයට ඒ දවස්වල ගත්තේ එංගලන්තයෙන් ආපු ‘ඉංග්ලිෂ් වයර්’ එක. ඒත් අපේ රටේ හදපු එනැමල් වයර් එකත් එක්ක සටන් කරන්න ‘ඉංග්ලිෂ් වයර්’ එකටත් බැරිවුනා. මොකද අපේ එක සුපිරි එනැමල් කම්බියක්. ඒක හදන්නේ ‘කැළණි කේබල්ස්’ එකෙන්. වයින්ඩර්ස්ලා කියන්නේ දැනට අවුරුදු 50කට වැඩි කාලයක් මේ කැළණි වයර් එක, තමන්ගේ ප්‍රමිතිය නියමෙටම පවත්වාගෙන යනවා කියලා. කැළණි එනැමල් වයර් එකකින් එතුවා කියන්නේ සමහර විට ආයේ අවුරුදු විස්සකට තිහකට ‘මෝටර් පිච්චිලි නෑ’ කියන එක තමයි වයින්ඩර්ස්ලා කියන්නේ.
අපේ වයර් එකේ මේ සුපිරිබව නිසාම පිට රටින් වයර් ගේන ඉබේම නතරවුණා. ඉඳලා හිටලා වෙන වයර් ජාති මාර්කට් එකට ආවත් ඒවට කැළණි වගේ එකේ ප්‍රමිතිය ගන්න බැරිවුණ නිසා මාර්කට් එකෙන් රිජෙක්ට් වුනා. මොකද මේ කම්බියේ ප්‍රමිතිය තිතට තිබුණේ නැතිනම් වයින්ඩිං වැඩේ හබක්. එත් අපේ රටේ හැදෙන කැළණි වයර් එකෙන් වයින්ඩර් වගේම, වයින්ඩින් වැඩේ භාරදෙන මෝටර් හිමියත් සතුටු වුණා…
දැන් තමයි අපි මාතෘකාවේ නියම තැනට එන්නේ.
අර විදිහට මුල මැද අග තුනෙන්ම අපේ රටේ අය එකතුවෙලා වයින්ඩින් කර්මාන්තය පෙරට ඇදගෙන යනකොට මෙන්න දැන් දැන් කව්රුත් නොදන්නා එනැමල් කම්බියක් වෙළෙඳපොලට එනවා. (ගොඩක් වයින්ඩර්ස්ලා නම් කියන්නේ මේක ලංකාව ගිලින්න බලාගෙන ඉන්න අල්ලපු රටක හදලා එවන එකක් කියලා. පහුගිය දවස්වල ලංකාවට එන සංචාරකයො ටිකට ලංකාව එපා කරවන්න, ගුවන් තොටුපලේ ‘පිස්සු කෙළපු’ සමාගම අයිති රට ගැන තමයි කට්ටිය ඒ කියන්නේ) ඒකෙ ප්‍රමිතිය ගැන සහතිකයක් නෑ. නිෂ්පාදකයා ගැන සඳහනක් නෑ. ලංකාවෙ රේගුවට ටැක්ස් ගෙවපු බවට සඳහනකුත් නෑ. ඒ වුණාට ගෑනු මිනිස්සු බෑග්වල දාගෙන ඇවිත් වයින්ඩර්ස්ලාට මේක විකුණන්න හදනවා. සමහරක් වයින්ඩර්ලා සුළු ලාභෙට අහුවෙලා මේක ගන්නවා වෙන්නත් පුළුවන්. ඒත් එහෙම ගන්න කෙනෙක් වුණත් තමන්ගේ සේවාලාභියාට කියන්නේ එයා මෝටරේ එතුවේ කැලණි වයර්වලින් කියලා මිසක් නොදන්නා වයර් එකකින් එතුවා කියලා නෙමෙයි. කැලණි වයර්වල ප්‍රමිතිය දන්න සේවාලාභියාත් විශ්වාසයෙන් ඒක අරගෙන යන්න පුළුවන්. ඒත් මාස කිහිපයකින් මෝටරේ ආයෙ පිච්චෙනකොට මොකද වෙන්නේ?
කොහේවත් ඉඳලා, ඒ නරක නාමෙට කරගහන්න වෙන්නෙත් අපේ රටේ හදපු කැළණි වයර් එකට වෙන්න පුළුවන්. එතකොට අවුරුදු පනහක් හැටක් මේ රටේ වයින්ඩිං කර්මාන්තයට පණ දුන්නු අපේම වයර් එක ගැන අපේම විශ්වාසය නැතිකරවලා මේ කර්මාන්තය වට්ටවන්න පුළුවන්. ඒ වගේම මේ වගේ අඩුවට තැනින් තැන එනැමල් වයර් විකුණුවහම තමන්ගේ වෙළෙඳපොල අඩුවෙලා කැලණි වයර් නිෂ්පාදනය ඇද වැටෙන්නත් පුලුවන්. මේ විදිහට, ජාත්‍යන්තරයටත් හැප්පෙන්න බැරි වුණු අපේ රටේ එනැමල් වයර් කර්මාන්තය වට්ටලා දාලා තවත් කාලෙකින් අල්ලපු රටක එනැමල් කම්බියක් මෙරටට එන්න පුළුවන්. එදාට අපිට ඒ කම්බිය ලාබෙට දෙන එකක් නැහැ. ඒකෙ ප්‍රමිතියෙන් බාල එකක් වුණහම ඒකෙන් ඔතන මෝටර්වලට කල්පැවැත්මක් නැහැ. අපේ වයින්ඩර්ස්ලා 3000ත් එක්ක ඒ කර්මාන්තයම වල පල්ලට යාවී. ලොකු මෝටර් ඔතන්න රට යවන්න වෙයි. පොඩි මෝටර් හදනවා වෙනුවට අපේ සල්ලි පිටරටට දීලා වෙන මෝටරයක් ගන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැතිවෙයි.
මේ සේරම වෙනකම් අපේ රේගුව නිදියගනීවී. රේගුවේ මහත්වරුන්ගේ සාක්කුව විතරක් ඇහැරන් ඉඳිවී. රටේ වගකිවයුතු ආයතන, අමාත්‍යංශ නිදිවදීවී. ඒවායෙ ලොක්කන්ගෙ, ඒවා අයිති ඇමතිවරුන්ගේ සාක්කු විතරක් ඇහැරන් ඉඳීවී. අන්තිමට රටේ කර්මාන්ත වලට කෙළවෙලා රටක් හැටියට අපි හැමෝම අවසන් නින්දට යාවී. හැබැයි ඒක සැනසිලිදායක අවසන් නින්දක් නම් වෙන එකක් නැහැ.
(රටට ආදරේ නම් ෂෙයාර් කරලා තව කෙනෙක් දැනුවත් කරමු. අපේ දේ රැකගැනීම වෙනුවෙන් හඬක් නගමු)