සුරාබදු නිලධාරීන් පිරිසක් විසින් බම්බලපිටිය ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීම සම්බන්ධව කඩිනම් වාර්තාවක් ලබා දෙන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වෙත මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා විසින් උපදෙස් ලබාදී තිබේ.
ට්විටර් සටහනක් තබමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
මේ අතර අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් කපිල කුමාරසිංහ මහතා පවසා සිටියේ, අදාළ සිදුවීම රාජකාරි කටයුත්තක් අතරතුර සිදුව ඇති බවය.
සුරාබදු නිලධාරීන් පිරිසක් ඊයේ (07) පස්වරුවේ වැටලීමක් සඳහා බම්බලපිටියට ගොස් ඇති අතර එහිදී ව්‍යාජ ගැනුම්කරුවෙක් යොදාගෙන හෙරොයින් මත්ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බව ද ඒ මහතා පැවසීය.
එම අවස්ථාවේ දී මත්ද්‍රව්‍ය අලෙවිකරුගේ සහයකයෙක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී ඔහු පළායෑමට උත්සාහ කිරීමේ දී වෙඩිතැබීමක් සිදුව ඇතැයි ද කපිල කුමාරසිංහ මහතා කියා සිටියේය.
එම අවස්ථාවේ දී පොලීසිය විසින් සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටින බව ද කුමාරසිංහ මහතා පැවසීය.
අධිකරණයෙන් මේ සම්බන්ධයෙන් යම් සහනශීලි තීරණයක් බලාපොරොත්තු වන බව ද පැවසු කපිල කුමාරසිංහ මහතා සුරාබදු නිලධාරීන්ගෙන් යම් අතපසුවීමක් සිදුව තිබුණේ නම් එය කතාකර විසඳාගැනීමට හැකිව තිබු බව සඳහන් කළේය.
මෙම සිදුවීම හේතුවෙන් පළාගිය අපරාධකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් පොලිස් දෙපාර්තමේන්තුවේ හා සුරාබදු දෙපාර්තමේන්තුවේ පවතින සුහදශීලිභාවයේ අඩුපාඩුවක් හේතුවෙන් මෙම තත්ත්වය නිර්මාණය වී ඇතැයි ද පැවසීය.
ගිනිඅවි භාවිතයට සුරාබදු නිලධාරීන්ට බලය ඇති බව ද පැවසු ඒ මහතා මෙම සිදුවීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් සිදුකරන බව ද කියා සිටියේය.