ශ්‍රී ලංකාවේ TIN අංකයක් සඳහා ලියාපදිංචි වීම පිළිබඳ ව :
බදු හඳුනා ගැනීමේ අංකය (TIN) වර්තමානය වන විට රට පුරා පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වන මාතෘකාවක් බවට පත් වී ඇත. එමෙන් ම මේ පිළිබඳ ව විවිධ වැරදි තොරතුරු ද සමාජය තුළ සංසරණය වෙමින් පවතී. TIN අංකයක් ලබා ගැනීම යනු අනිවාර්යයෙන් බදු ගෙවීම සඳහා වන ගිවිසුමක් නොවන බව අවධාරණය කළ යුතු ය. එය විවිධ රාජ්‍ය ආයතන විසින් පිරිනමනු ලබන සේවාවන් රාශියක් වෙත පහසු ප්‍රවේශයක් ලබා දෙන ක්‍රමවේදයක් වන අතර, 2024 ජනවාරි 1 වන දා වන විට TIN අංකය ලබා නො ගන්නා පුද්ගලයින්ගෙන් රු. 50,000 දක්වා දඩ මුදලක් අය කර ගන්නා බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
පසු ගිය දා මුදල් අමාත්‍යාංශය විසින් TIN අංකයේ කාර්යභාරය පිළිබඳ ව පැහැදිලි කර ඇති අතර, එමගින් ද TIN අංකය තුළින් බදු වගකීමට යටත් නොවන බව අවධාරණය කර ඇත. ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කර ඇති පරිදි රුපියල් මිලියන 1.2ක වාර්ෂික ආදායමක් සහිත සියලු ම දෙනා බදු ගෙවීමට බැඳී සිටිති.
ඉහත මුදලට අඩු ආදායමක් ලබන සියලු ම ශ්‍රී ලාංකිකයින් බදු ගෙවීමෙන් නිදහස් කර ඇත. 2023 දෙසැම්බර් 31, 2024 ජනවාරි 1 යන දිනවලට වයස අවුරුදු 18ට සම්පූර්ණ කර ඇති සියලු ම දෙනා TIN අංකයක් ලබා ගත යුතු අතර, 2024 ජනවාරි 1වන දිනට පසු ව වයස අවුරුදු 18 සපුරන සියලු දෙනා TIN අංකයක් ලබා ගැනීම අනිවාර්ය වේ. මීට අමතරව රු. 1,200,000ට වැඩි ආදායමක් ලබන සියලු දෙනා මෙම මූල්‍ය වර්ෂය තුළ (මෙම වසරේ අප්‍රේල් 1 සිට ඊළඟ වසරේ මාර්තු 31 දක්වා) ආදායම් බදු සඳහා ලියාපදිංචි වීමට අත්‍යවශ්‍ය වේ. කෙසේ වෙතත්, TIN අංකයක් නොමැති පුද්ගලයින්ට දේශීය ආදායම් පනතේ 177 වැනි වගන්තිය යටතේ රුපියල් 50,000/- නො ඉක්මවන දඩයකට මුහුණ දීමට සිදු වේ.
සෑම පුද්ගලයෙකුට ම අංක 9ක් සමඟ අමතර අංක 4කින් යුත් TIN අංකයක් ලබා දෙන අතර, VAT ගෙවනු ලබන අයට 7000 අංකයෙන් අවසන් වන TIN අංකයක් ලබා දෙයි.
2024 පෙබරවාරි 1 දින සිට සාමාන්‍ය ගනුදෙනු සඳහා TIN අංකයක් තිබීම අනිවාර්ය වේ. මීට අයත් වන ගනු දෙනු වන්නේ :
– ජංගම ගිණුමක් විවෘත කිරීම.
– ගොඩනැගිලි සැලසුම් සඳහා අනුමැතිය ලබා ගැනීම.
– වාහනයක් ලියාපදිංචි කිරීම.
– බලපත්‍රයක් අලුත් කිරීම සහ
– ඉඩම් සඳහා හිමිකම් ඔප්පු ලියාපදිංචි කිරීම.
TIN අංකයක් නොමැතිව වාහන ලියාපදිංචිය සිදු කළ නොහැකි බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා අවධාරණය කරයි. ඒ ආශ්රිත සේවාවන් ලබා ගැනීම සඳහා කඩිනමින් TIN අංකයක් ලබා ගන්නා ලෙස ඒ මහතා ප්‍රකාශ කළේය. එමෙන් ම අනවශ්‍ය ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා TIN අංකය නොමැතිව මෝටර් රථ ලියාපදිංචි දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින ලෙස වීරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික වශයෙන් ප්‍රකෘතිමත් කිරීම සඳහා, වඩාත් තිරසාර ආර්ථික පරිසරයක් ස්ථාපිත කිරීම හරහා රාජ්‍ය ආදායම ඉහළ නැංවීම අතිශය වැදගත් වේ.
පෞද්ගලික ආදායම් බදු (PIT) ආදායම් උත්පාදනයට සහ එම ආදායම ඵලදායී ලෙස යළි බෙදාහැරීම වෙනුවෙන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ශ්‍රී ලංකාව තුළ, PIT ආදායම 2000 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.9% ක් ලෙස වාර්තා වූ අතර, එම අගය 2022 වසර වන විට 0.2% දක්වා පහත වැටී ඇත. ශක්තිමත් ආර්ථිකයක් පවත්වා ගනිමින්, උද්ධමනය ඇති වීම වළක්වා ගැනීම සඳහා බදු සීමාවන් ප්රශස්ත අයුරින් පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ.
2000 වසරේ සිට පැහැදිලි තාර්කික ආර්ථික පදනමකින් තොර ව PIT ක්‍රමවේදය තුළ සංශෝධන නවයක් සහ බදු රහිත සීමා පැනවීම් පහක් ආදී වශයෙන් මෙරට බදු ක්‍රියාවලිය වඩාත් සංකීර්ණ කර ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන මගින් සැකසූ, පළමු කාර්තුව තුළ ඉලක්ක ගත ආදායම් තත්ත්වයන්ට වඩා ආදායම අඩු වීමත් සමඟ ආදායම් බදු ලබා ගැනීමේ ක්‍රියාවලිය ප්රශස්ත කිරිමේ අවශ්‍යතාව තීව්ර වී ඇත. බදු ආශ්රිත ආදායම් ඉලක්ක සපුරාලීමට සහ බදු බර සැමට සමාන ලෙස බෙදා හැරීම සහතික කිරීම සඳහා, සංවිධානාත්මක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම ද අත්‍යවශ්‍ය වේ.
TIN අංකයක් ලබා ගන්නේ කෙසේද?
www.ird.gov.lk වෙබ් අඩවියේ මාර්ගගතව ලියාපදිංචි වීම තුළින් TIN අංකයක් ලබා ගත හැකි ය. තවත් විකල්පයක් වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ 2 වන මහලේ ඇති ප්‍රාථමික ලියාපදිංචි කිරීමේ ඒකකයට හෝ ඕනෑ ම ප්‍රාදේශීය කාර්යාලයක් වෙත පැමිණ TIN අංකයක් ලබා ගැනීමේ පහසුකම් සලසා ඇත. TIN අංකයක් අයදුම් කිරීමේ ක්‍රියාවලියේ දී අයදුම් කරුගේ විද්‍යුත් තැපැල් ලිපිනය සහ ජංගම දුරකථන අංකය නිවැරදි ව ලබා දීම ඉතා වැදගත් වේ. මෙම උපදෙස් පිළිපැදීමට අපොහොසත් වීම නිසා දඩ මුදලකට පවා යටත් විය හැකිය.
බදු අංකයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය සියලු ම පුද්ගලයින්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඉතා සරල ක්‍රමවේදයක් වන අතර, බදු ලියාපදිංචි අංකයක් තිබීම විවිධ සාමාන්‍ය සේවා ලබා ගැනීමේ දී ද අත්‍යවශ්‍ය වේ. එම නිසා ම මේ පිළිබඳ ව හොඳින් දැනුවත් වී, අදාළ නව රෙගුලාසිවලට අනුගත වීම ඉතා වැදගත් ය.
සියලු පුරවැසියන්ට ප්රතිලාභ සැලසෙන පරිදි බදු අය කර ගැනීමේ ක්‍රියාවලි විධිමත් කිරීම සහ බදු ක්රමයේ විනිවිදභාවය වැඩි දියුණු කිරීම මෙහි අරමුණයි.
දැනුවත්ව සිටින්න … දඬුවමෙන් වළකින්න!
වැඩි දුර විස්තර සඳහා :