වර්ෂ 2012 ඔක්තෝබර් 15 වන දින හෝ ඊට ආසන්න දිනෙක ශ්රී ලංකා මුහුදු සීමාවේ ධීවර කටයුතු වල යෙදෙමින් සිටි “තේජාන්” නම් ධීවර යාත්රාව පැහැරගෙන එහි සිටි ධීවරයින් තිදෙනෙකු ඝාතනය කොට තවත් කිහිපදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව කොළඹ මහාධිකරණයේ විභාග වූ නඩුවේදී අදාළ චෝදනා සඳහා වරදකරුවන් වූ ධීවරයින් හත් දෙනෙකුට මරණ දඩුවම ලබා දීමට අධිකරණය අද (24) තීරණය කරන ලදී.
මෙම නඩු විභාගයේ දී දහවන විත්තිකාරිය සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය තීරණය කළ අතර වරදකරුවන් වූ ධීවරයක් හත් දෙනා වෙත මරණ දණ්ඩනය හිමිවූ අධි චෝදනා තුනට අමතරව තවත් අධි චෝදනා හයක් සඳහා බරපතල වැඩ සහිතව වසර 29ක සිරදඩුවම් හා රුපියල් 2,008,500 බැගින් වූ දඩ මුදලක් ද ගෙවන ලෙස නියෝග කර තිබේ.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 11 එදිරිව කොළඹ මහාධිකරණයේ නඩු පවරන ලදී. එයින් විත්තිකරුවන් තිදෙනෙකු නඩු විභාගය අතරතුර හෝ නඩුව ආරම්භ කිරීමට පෙර මියගොස් තිබීම නිසා අධිකරණයේ නඩුව විභාග වූයේ විත්තිකරුවන් 8 දෙනෙකුගෙනි.