දැඩි මූල්‍ය දුෂ්කරතා යටතේ පාඩු ලබමින් පවතින ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට අයත් ‘චැනල් අයි’ නාලිකාව ක්‍රීඩා සහ විනෝදාස්වාද වැඩසටහන් විකාශනය කිරීම සඳහා දීර්ඝ කාලීන බදු පදනම මත ටෙන්ඩර් කිරීමට රජය තීරණයක් ගෙන තිබේ. නාලිකාවේ විකාශන කාලය කෙටි කාලීන පදනම මත මේ වනවිට ලයිකා සමූහය වෙත බදු දී තිබේ.
දිනෙන් දින පාඩු ලබන නාලිකාවකට රජයට සෑම විටම මුදල් යෙදවීමට නොහැකි නිසා අධ්යක්ෂ මණ්ඩලයේ තීරණයක් මත චැනල් අයි නාලිකාව ලයිකා සමූහ ව්‍යාපාරයට කෙටිකාලීන බදු පදනම මත ලබාදී ඇති බව කැබිනට් ප්‍රකාශක සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැහැදිලි කළේය.
මෙම තීරණය සඳහා අනුමැතිය ඉල්ලා අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ ද, මෙය රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් නොවී නාලිකාව පවත්වාගෙන යාමේ උත්සාහයක් වන බැවින් අමාත්‍ය මණ්ඩල අනුමැතියක් අවශ්‍ය නොවන බව අමාත්‍ය මණ්ඩලය ඔහුට දන්වා එවා තිබුණි.
චැනල් අයි හි විකාශන කාලයේ ක්‍රීඩා වැඩසටහන් විකාශනය කිරීම සඳහා රුපියල් මිලියන 25කට ලයිකා සමූහ ව්‍යාපාරයට බදු දී ඇති අතර මාසයක දැනුම්දීමක් සහිතව කල්බදු ගිවිසුම අවලංගු කිරීමේ අයිතිය තවමත් ශ්‍රී ලංකා රජය සතු බව හෙතෙම පැවසීය.