වග්නර් සම-නිර්මාතෘ ද ඒ අතර
අනතුරින් දහයකට දිවි අහිමි වෙයි
පසුගිය ජූනි මාසයේ ලොව පුරා මහත් ආන්දෝලනයක් සිදුකරමින් රුසියානු ජනපති වැලැද්මීර් පුටින් ට එරෙහිව අසාර්ථක අභ්‍යන්තර කැරැල්ලක් දියත් කල වග්නර් ප්‍රධානී යෙව්ගිනි ප්රිගොසින්ට අයත් පුද්ගලික ගුවන් යානය බටහිර රුසියාවේ කුසෙන්කිනෝ ගම්මානයට ආසන්නයේ දී කඩා වැටීමකට ලක්ව තිබේ. රුසියානු ගුවන් සේවා අධිකාරියේ බළධාරීන් සඳහන් කළේ ඒ අවස්ථාව වනවිට ගුවන් යානයේ මගීන් 10 දෙනෙකු ගමන් කරමින් සිටි බවත් ඔවුන් අතර වග්නර් ප්‍රධානී ප්‍රිගොසින් ද සිටිනා බවය.
තවදුරටත් අදහස් දක්වමින් එම බළධාරීන් සඳහන් කළේ ප්‍රිගොසින් ට අමතරව ඔහුගේ දකුණු අත බඳුව සිටි වග්නර් කල්ලියේ සම-නිර්මාතෘ දිමිත්‍රි යුට්කින් ද එහි ගමන් ගත් අය අතර සිටිනා බව යි.
සිද්ධිය වූ ස්ථානයට බළධාරීන් ළඟා වනවිටත් පුද්ගලික ජෙට් යානයේ ගමන් ගත් සියලුම දෙනා මියගොස් ඇති අතර ඔවුන්ගේ සිරුරු පිටතට ගැනීමට සමත් වූ බව ඔවුන් සඳහන් කළහ. ඒ අනුව මේ අනතුරින් යෙව්ගිනි ප්‍රිගොසින් සහ දිමිත්‍රි යුට්කින්ගේ මරණයන් තහවුරු විය.
යෙව්ගිනි ප්‍රිගොසින්, 2014 වසරේ ආරම්භ කරන ලද වග්නර් කුලී හමුදාවේ ප්‍රධානියා ලෙස මුළු ලොවම දැන සිටියද, ඔහු වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකු වූ අතර ඔහුට එරෙහිව අපරාධ චෝදනා ද නැතුවාම නොවේ. පසුව ඔහු ජනපති පුටින්ගේ “සූපවේදියා” ලෙස ප්‍රකට වූයේ සිය අවන්හල හරහා අතර ක්‍රෙම්ලීනයට ආහාර සැපයීම සිදුකිරීම නිසා ය.
පසුගිය ජූනි මාසයේ ජනපති පුටින්ගේ බලයට අභියෝග කරමින් ඔහු සිය කුලී හමුදාව යොදවා අභ්‍යන්තරික කැරැල්ලක් ඇති කර දකුණු රුසියාවේ රොස්ටොව්-ඔන්-ඩොන් නගරය අල්ලා ගත්තේය. නමුත්, පසුව බෙලරුසියානු ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝගේ මැදිහත්වීමෙන් ක්‍රෙම්ලීනය සමඟ පැවැති සාකච්ඡාවලින් පසුව වග්නර් කල්ලිය මොස්කව් බලා එන ගමන අත්හැර දැමීය. මෙය ලෝක මාධ්‍යයේ දැඩි ආන්දෝලනයට ලක් වූ සිදුවීමක් වූ අතරම වසර විස්සකට අධික පුටින්ගේ ධූර කාලයේ ඔහුගේ බලයට අභියෝග කළ පළමුවැන්නා වූයේ ප්‍රිගොසින් ය. ඔහුගේ ක්‍රියාවට පුටින් සමාව ලබාදුන් අතරම ඔහු කැමති රටකට පිටුවහල් වීමේ අවස්ථවද ඔහුට ලබා දුනි. ඒ අනුව බෙලරුසියාවට සිය කැමැත්තෙන්ම පිටුවහල් වූ ඔහු මෙම ගුවන් අනතුර සිදුවන තුරුම වැඩිපුර සමාජයට හෝ මාධ්‍යට මුහුණ දීමට පැමිනියේ නැත.
ජූනි මාසයේ ප්‍රිගොසින් විසින් පුටින්ට කළ අභියෝගයට මෙය ඔහුගෙන් ලැබුණු ප්‍රතිචාරයක් විය හැකි යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණ ද, මේ අනතුර වන අවස්ථාවේ දී ජනපති පුටින් සිටියේ සෝවියට් සංගමය නාසි ජර්මනියට එරෙහිව ලත් ජයග්‍රහණයේ 80 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය වූ උත්සවයකට සහභාගී වී එය ආමන්ත්‍රණය කරමිනි. ගුවන් අනතුර පිළිබඳ ඔහුට තොරතුරු ඒ වනවිට ඔහු වෙත ලැබී තිබුණ ද ඔහු ඒ පිළිබඳව සභාව දැනුවත් කිරීමට නොගිය ද, යුක්රේනය සමඟ කරන යුද්ධයේ දී අභීතව සටන් වදින සිය සොල්දාදුවන්ට සිය උපහාරය පළ කළේය.
ප්‍රිගොසින්ගේ හා දිමිත්‍රි ගේ මරණයන්ගෙන් පසුව වග්නර් කල්ලියේ අනාගතය කෙබඳු ද යන්න පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍ය සිය අවධානය යොමු කර ඇති අතර ඒ පිළිබඳ තවමත් නිල නිවේදනයක් වග්නර් කල්ලිය නිවේදනය කළ නොමැත.
රසිත ජයවීර