කටුනායක ගුවන්තොටුපොළ ඉහළ අහසේ පියාසර කරමින් තිබූ පක්ෂි රංචුවක් පළවා හැරීම සඳහා අහස් කූරු වර්ගයට අයත් පුපුරණ ද්‍රව්‍ය අඩංගු තොගයක් එල්ල කළ අවස්ථාවේදී එය යළිත් නිලධාරීන් ගමන් ගත් කැබ් රථයට වැටී අනතුරක් සිදුව තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් වෙත අද (20) දින දහවල් 11.45 ට පමණ ගුවන් තොටුපොළ ධාවන පථයට ඉහළ අහසෙහි පක්ෂි රංචුවක් ගුවන් ගමන් වලට බාධා වන අයුරින් පියාසළමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබේ.
ඒ අනුව ගුවන්තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනෙකු කැබ් රථයක් මගින් ගුවන් ධාවන පථය අසළට ගොස් එම පක්ෂි රංචුව පළවා හැරීම සදහා අහස් කූරු වැනි පුපුරන ද්‍රව්‍ය අඩංගු වෙඩි ප්‍රහාරයක් එම පක්ෂි රංචුව දෙසට එල්ල කර ඇත.
එල්ල කළ එම වෙඩිල්ල නොපිපිරී යළිත් එම නිලධාරීන් ගමන් කළ කැබ් රථය මතට ඇද වැටී තිබේ.
ඒ වනවිටත් තවත් එවැනි පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් එම රථය තුළ තිබී ඇති අතර ඒවාද එකවරම පිපිරීමට ලක් වීමෙන් හදිසි ගින්නක් ඇති වී තිබේ.
ඒ සමගම කටුනායක ගුවන්තොටුපොළ ගිනි නිවීම් ඒකකයේ නිලධාරීන් ගිනි නිවීම් රථ කීපයක් යොදා ගනිමින් එම ගිනිගැනීම මැඩ පවත්වා තිබේ.
මෙම සිදු වීමෙන් මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ සත්ව සහ පක්ෂි උපද්‍රව පාලන අංශයේ නිලධාරීන් තිදෙනකු තුවාල ලබා, ප්‍රතිකාර සදහා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
එමෙන්ම ඔවුන් ගමන් ගත් කැබ් රථයටද හානි සිදු වී තිබේ.