ක්රිකට් පිටියේ උත්කර්ෂවත්ම සැණකෙළිය, ICC ක්රිකට් ලෝක කුසලානය – 2023 ඉන්දියාවේ සත්කාරකත්වයෙන් හෙට (05) ආරම්භ වෙයි.
මෙවර ලෝක කුසලානය සඳහා කණ්ඩායම් 10ක් සහභාගී වන අතර ඒ සියලුම කණ්ඩායම් මේ වනවිට ඉන්දියාවට පැමිණ තිබේ.
ඒ අනුව පසුගිය සතියේ එම කණ්ඩායම් සඳහා පෙර පුහුණු වීම් තරග පැවැත්වුණු අතර මේ වනවිට සෑම කණ්ඩායමක්ම ලෝක කුසලානය සඳහා හොඳ සූදානමක පසුවනු දැකිය හැකිය.
ලෝක කුසලානය ආරම්භ කරමින් පසුගිය වර ලෝක ශූර එංගලන්තය හා අනුශූර නවසීලන්තය අහමදාබාද් පිටියේ දී එකිනෙකා හමුවීමට නියමිතව තිබේ.
මෙම තරගය එංගලන්තයේ ප්රබල පිතිකරණ බලඇණිය හා නවසීලන්ත ප්රබල පන්දු බලඇණිය එකෙනෙක ගැටෙන සටනක් වනු ඇති බව ක්රිකට් විචාරක මතයයි.
කවදත් ලෝක කුසලාන ක්රිකට් පිටියේ විශ්වාස කළ නොහැකි කණ්ඩායමක් වන ශ්රී ලංකාව කෙරෙහි ද ක්රිකට් විචාරකයින් මහත් බලාපොරොත්තු තබා තිබේ. ශ්රී ලංකා කණ්ඩායම ප්රබල පිතිකරු කුසල් මෙන්ඩිස් කෙරෙහි සිය විශ්වාසය තබා තරගබිමට පිවිසෙනු ඇති බව විචාරක මතය වී තිබේ.
ලෝක කුසලානයේ වඩාත්ම ප්රේක්ෂක අවධානය දිනා ගන්නා තරගය වන ඉන්දු – පාකිස්තාන තරගය ඔක්තෝබර් 14 වනදා අහමදාබාද් හීදී පැවැත්වීමට නියමිතව තිබේ. මේ වනවිටත් එම තරගය සඳහා වන ප්රවේශපත්ර සියල්ලම අවසන් වී තිබීම එම තරගය සඳහා ප්රේක්ෂක අවධනය කෙබඳු ද යන්න පිළිබඳව හොඳ මිම්මක් ලබා ගැනීමට හැකිවේ.
මෙවර ලෝක කුසලානයේ දී ලබා දෙන තෑගි මුදල් ICC විසින් ප්රකාශයට පත් කර ඇති අතර සමස්ත තරගාවලිය සඳහා ඇ.ඩො. කෝටියක මුදලක් වෙන් කර තිබේ. එයින් ජයග්රාහකයා සඳහා ඇ.ඩො. ලක්ෂ 40 ක මුදලක් ද අනුශූරතාවය සඳහා ඇ.ඩො. ලක්ෂ 20 මුදලක් ද ලබා දීමට තීරණය වී තිබේ.
රසිත ජයවීර