එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක Marc-André Franche මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.
මෙහිදී Marc-André Franche මහතා විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතාගේ සුබපැතුම් ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත පිරිනමා ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන ව්‍යාපාරය තුළ වූ සදාචාරාත්මක ස්වභාවය මෙහිදී පැසසුමට ලක් කළ මාර්ක් ඇන්ඩෘ මහතා, මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඇගයීමට ලක්කර ඇත.
එමෙන්ම මහජන අපේක්ෂාවන් ඉහළ මට්ටමක පවතින බැවින් ඉදිරි කාලසීමාව අභියෝගාත්මක වනු ඇති බවද මෙහිදී පෙන්වා දී ඇති මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් මහතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවේ වැඩසටහනට සහ දරිද්‍රතාව තුරන් කිරීමේ ප්රයත්නයන්ට එක්සත් ජාතීන්ගේ සහාය ලබා දෙන බවටද සහතික වී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති දූෂණ විරෝධී වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී ප්‍රශංසාව පළ කළ ඒ මහතා එම ප්රයත්නයන් සඳහා එක්සත් ජාතීන්ගේ තාක්ෂණික සහ මූල්‍ය සහාය ලබා දෙන බවටද ප්‍රකාශ කර ඇත.
එසේම ප්‍රජාව අතර ජාතික සාමය සඳහා වූ ශ්‍රී ලංකා නව රජයේ සුවිශේෂී මුලපිරීම් ද පැසසුමට ලක් කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරකවරයා, විවිධ කණ්ඩායම් අතර විශ්වාසය වර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ කැපවීම ද අගය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එමෙන්ම රට තුළ තිරසාර සාමයක් ප්‍රවර්ධනය කිරීම සඳහා වන මෙම මුලපිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සහාය ලබා දෙන බවද පවසා ඇත.