ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඊයේ (14) පැවැති සුපිරි හතර වටයේ තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ශ්‍රී ලංකාව කඩුළු 2ක ජයක් ලැබීමට හැකිවිය. ඒ අනුව ශ්‍රීලංකාව ලබන ඉරිදා ආර්. ප්‍රේමදාස පිටියේ දී ප්‍රබල ඉන්දියාවත් සමඟ අවසන් මහා තරගයට තේරී පත් විය.
ශ්‍රී ලංකාව ආසියානු කුසලානයක අවසන් තරගයට තේරී පත් වූ 11 වන අවස්ථාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක්විය.
ඊයේ දිනයේ දී කොළඹ අවටට ඇද හැලුණු වැසි නිසා තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වූ අතර කාසියේ වාසිය ද ප්‍රමාද විය. පැය දෙකක පමණ ප්‍රමාදයකින් පසුව ඇරඹි තරගය එක් පිලකට පන්දුවාර 45කට සීමා විය.
කාසියේ වාසිය දිනාගත් පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඉනිම අතරතුර නැවත තරගයට වර්ෂාවෙන් බාධා වීම නිසා ඉනිමක් පන්දුවාර 42 කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කෙරිණි.
ඒ අනුව නියමිත පන්දුවාර සංඛ්‍යාව අවසානයේ දී කඩුළු 7කට ලකුණු 252ක් රැස්කීරීමට සමත් විය.
මොහොමඩ් රිස්වාන් නොදැවී ලකුණු 86ක් හා අබ්දුල්ලා ශෆීක් ලකුණු 52ක් ලබා ගත්හ.
මතීෂ පතිරණ 65 කඩුළු 3යි.
ලකුණු හඹායාමට පිටියට් පිවිසි ශ්‍රීලංකාවට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 42 කදී ලකුණු 252ක් ලබා ගැනීමට අවශ්‍ය විය.
ශ්‍රීලංකාවේ ජයග්‍රාහී අඩිතාලම දැමූ කුසල් මෙන්ඩිස් (91) සහ සදීර සමරවික්‍රම (48) සාර්ථක ශතක සබඳතාවක් ගොඩ නැගීමට සමත් විය.
අවසාන පන්දුව දක්වා ඇදුණු තරගයේ අවසාන භාගයේ දී පිටියට පිවිසි චරිත් අසලංක නොදැවී ලකුණු 49 ක් ලබමින් ලංකාව සුරැකිව ජයග්‍රහණය කරා ගෙන ගියේය.
ඉෆ්තිකර් අහමඩ් ලකුණු 50 කඩුලු 3 යි.
පිත්තෙන් දස්කම් දැක්වූ කුසල් මෙන්ඩිස් තරගයේ වීරයා සම්මානය ලබා ගත්තේය.
රසිත ජයවීර