ක්‍රිකට් පිටියේ ඕනෑම තරග රටාවක දැකිය හැකි සාම්ප්‍රදායික ගැටුම ලෙස ඉන්දු-පකිස්තාන ගැටුම හෙට සවස 3 ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.
දෙරටේ කාලාන්තරයක් පුරා පවතින දේශපාලන ගැටුම ක්‍රිකට් පිටියට ද එලෙසම අදාළ වීම නිසා මේ තරගය ලොව පුරා සිටිනා ක්‍රීඩාලෝලීන්ගේ මහත් අවධානයට සෑම මොහොතකම ලක් වේ.
මෙවර ආසියානු කුසලාන තරගාවලියේ ඉන්දු-පාකිස්තාන තරගයේ සියලුම ප්‍රවේශ පත්‍ර මේ වනවිටත් අවසන්ව ඇති බව ආසියානු ක්‍රිකට් කවුන්සිලය දැනුම් දී තිබේ. එලෙසම මහනුවර හා කොළඹ අවට හෝටල් කාමරද මේ වනවිට ඉන්දු-පාකිස්තානු ක්‍රීඩාලෝලීන්ගෙන් පිරී ඉතිරෙන බව ද වාර්තා වෙයි.
එළඹෙන ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු-පාකිස්තානු තරගයට අදාළව නිකුත් කරන ලද ප්‍රවේශ පත්‍රද අලෙවියට විවෘත කර දින කිහිපයකින් ම විකිණී අවසන් වූ බව ICC ය පැවසීය. එම තරගය පැවැත්වෙන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය ආසන්නයේ හෝටල් වලද තත්වය ලංකාවේ මහනුවර හා කොළඹ තත්වයට දෙවෙනි නොවේ.
මේ වනවිට ඉන්දියාව හා පාකිස්තානය අතර ආසියානු කුසලාන තරගාවලියේ තරග 13ක් පවත්වා ඇති අතර එයින් ඉන්දියාව තරග 7ක් ද පාකිස්තානය තරග 5ක් ද බැගින් ජයගෙන ඇති අතර තරගයක් විසඳුමකින් තොරව අවසන්ව තිබේ.
ඒ නිසා හෙට තරගයද අතිශය උණුසුම් තරගයක් වනු නොඅනුමානය.
රසිත ජයවීර