ආසියානු කුසලානයේ සුපිරි හතර වටයට තේරීපත්වන අවසාන කණ්ඩායම කවුද යන්න තෝරා ගැනීමට ඊයේ (05) ලාහෝර් ගඩාෆි පිටියේ පැවැති ශ්‍රීලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තරගයේ දී ලකුණු 2ක තියුණු ජයක් ලැබීමට ශ්‍රීලංකාව සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රීලංකාව සිය පන්දුවාර 50 අවසානයේ දී කඩුළු 08 ට ලකුණු 291 ක් ලබා ගත්හ. එහිදී අනර්ඝ ඉනිමක් ක්‍රීඩාකළ කුසල් මෙන්ඩිස් අවාසනාවන්ත ලෙස ශතකය පෙනෙන මානයේ දී දැවී ගියේ ලකුණු 92කට ය. ඔහුට අනගි සහයක් ලබා දුන් චරිත් අසලංක හතරවන කඩුල්ලට ලකුණු 102ක සබදතාවක් එක් කළ අතර චරිත් අසලංක ලකුණු 36ක් රැස් කළේය.
ඊට අමතරව පැතුම් නිශ්ශංක ලකුණු 41ක් රැස් කළ අතර තරගේ අවසන් භාගයේ පිටියේ ස්ථාවර වූ දුනිත් වෙල්ලාලගේ හා මහීෂ් තීක්ෂණ 8වන් කඩුල්ලට ලකුණු 64ක සබඳතාවයක් එක් කළෝය.
පන්දු යැවීමේ දී ගුල්බදීන් නයිබ් ලකුණු 60 ට කඩුළු 4ක් බිඳ හෙළීය.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඇෆ්ගානුවන්ට සුපිරි හතර වටයට සුදුසුකම් ලැබීමට නම් අදාළ ඉලක්කය පන්දුවාර 37.1 දී ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්ථානුවන්ට පන්දුවාර 37.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 289ක් පමණි.
ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණය කරා ගෙන යාමට දැඩි උත්සාහයක් ගත් මොහොමඩ් නබී පන්දු 32කින් ලකුණු 65ක් රැස් කළේය.
ඔහුට අමතරව නායක හෂ්මතුල්ලා ෂහීඩි ලකුණු 59ක් සහ රහමත් ෂා ලකුණු 45 බැගින් රැස් කළහ.
පන්දු යැවීමෙන් කසුන් රාජිත ලකුණු 79ට කඩුළු 4ක් බිඳ හෙළීය.
තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්
ශ්‍රී ලංකාව පිට පිට ජයග්‍රහණය කරන ලද 12 වන එක්දින තරගය සේම පිට පිට ප්‍රතිවාදී කණ්ඩායමේ සියලු දෙනා දවාගත් 12 වන අවස්ථාව ද වේ.
රසිත ජයවීර