තේ සහ රබර් අංශයන්හි වතු කම්කරුවන් වෙනුවෙන් වන අවම වැටුප මින් පෙර නොවූ අයුරින් 70%කින් ඉහළ දැමීම සඳහා රජය විසින් ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් වැවිලි කරුවන්ගේ සංගමය සිය විරෝධය පළ කර සිටියි. මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් සඳහන් කර සිටියේ රජය ගනු ලැබූ මෙම තීරණය අත්තනෝමතික, අදූරදර්ශී හා ඒකපාර්ශවික තීරණයක් බවයි.
නව වැටුප් වැඩිවීම හේතුවෙන් වැවිලි අංශයට ඇති කරන අයහපත් බලපෑමට එරෙහිව සියලු පාර්ශවකරුවන් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලදී. එහිදී ඔවුන් සඳහන් කර සිටියේ මෙම තීරණය වැවිලි අංශය දුර්වල තත්වයට ඇද දමමින් අවසානයේ දී රට තුළ දැඩි ආර්ථික අස්ථාවර බවක් ඇති කිරීමට හේතු වනු ඇති බවයි.
මෙහිදී අදහස් දැක්වූ ලංකා වැවිලි කරුවන්ගේ සංගමය “රජය විසින් කර්මාන්තයේ නියුතුව සිටින සියලු පාර්ශවකරුවන්ගේ අවශ්‍යතා පිළිබඳව කිසිඳු සැලකිල්ලක් හෝ තැකීමක් නොකරමින් මෙම තීරණයට එළඹ තිබෙනවා. කිසිඳු ප්‍රතිලාභයක් නොලැබෙන එම තීරණය මඟින් මෙරට තේ සහ රබර් කර්මාන්තයේ සෑම අංශයක්ම තව දුරටත් දුර්වල කිරීමට හේතු වන බව අපගේ විශ්වාසයයි. එවැනි අසාධාරණ වැටුප් වැඩි කිරීමක් සිදු කරන ලෙස කුඩා තේ සහ රබර් වතු හිමියන්ට හා කලාපීය වැවිලි සමාගම්වලට බල කිරීමේ උත්සාහය කර්මාන්තයේ මූලික මෙහෙයුම් අවශ්‍යතා කප්පාදු කිරීම තුළින් හෝ සාර්ථක කර ගැනීමට නොහැකියි. මුළු මහත් වතුකරයේම අනාගතය මේ වන විට අවදානමට ලක්ව තිබෙන අතරම ශ්‍රී ලංකාව පුරා කර්මාන්තයේ නියැලී සිටින කම්කරුවන්ගේ සහ ප්රජාවන්ගේ ජීවනෝපායද තර්ජනයට ලක්ව තිබෙන බව මේ මොහොතේ සඳහන් කිරීමට කැමතියි” යනුවෙන් පවසා සිටින ලදී.
රජය විසින් ගනු ලැබූ මෙම තීරණයේ ප්‍රතිඵලයක් ලෙස තේ සහ රබර් සඳහා වන නිෂ්පාදන වියදම ඉතා ඉහළ යනු ඇති අතර ඒ අනුව දැනට ඇස්තමේන්තු කර ඇති තේ කිලෝ ග්‍රෑමයක් සඳහා වන වියදම අවම වශයෙන් 45%කින් පමණ ඉහළ යනු ඇත. මේ හේතුවෙන් තේ සහ රබර් කර්මාන්තයට ගෝලීය වෙළෙඳපොලෙහි තරඟකාරීත්වයක් ලබා දීමට නොහැකි වන අතර එම ක්ෂේත්රයන්හි මූල්‍යයම පීඩාව තව දුරටත් ඉහළ නංවනු ඇත.
තවද, මෙම වැටුප් වැඩිවීම කලාපීය වැවිලි සමාගම්වලට අනවශ්‍ය බරක් වනු ඇත්තේ වාර්ෂික EPF/ETF හා පාරිතෝෂිත ඇතුළත් ගෙවීම් රුපියල් බිලියන 35ක් දක්වා දැඩි ලෙස ඉහළ යන හෙයිනි. එම සමාගම්වලට මෙම පීඩනය දරා ගත නොහැකි වීම හේතුවෙන් වතු කම්කරුවන් දහස් ගණනකගේ ජීවනෝපායටද එය තර්ජනයක් වනු නිසැකය.
රජයේ ඉහළ තනතුරු දරන්නන් විසින් වැවිලි අංශයේ කළමනාකරණයට ඇඟිලි ගැසීම හා වැටුප් වැඩි කිරීම සඳහා පුද්ගලික අංශයට බලපෑම් කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් වඩාත් තීරණාත්මක IMF ගිවිසුමට අදාල නියමයන් උල්ලංඝනය කිරීමක් බව වැවිලි කරුවන්ගේ සංගමය මෙහිදී පෙන්වා දෙනු ලැබීය. වතුකරයේ දිගු කාලීන ආර්ථික දියුණුව ඉහළ නැංවීම හෝ කම්කරු අවශ්‍යතා ආරක්ෂා කිරීමේ අරමුණින් නොව මැතිවරණ ජයග්රහණයන් ඉලක්ක කරගත් කෙටි කාලීන දේශපාලන උපක්‍රමයක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව මෙහිදී පැහැදිලිව දැකිය හැකි කරුණකි.
IMF විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක විස්තීරණ අරමුදල් පහසුකම (EFF) ලබා දෙනු ලැබුවේ රජය සතු ව්‍යවසායන් වෙත අවම මැදිහත් වීමක් සමඟ මූල්‍ය ශක්තිය ඉහළ නැංවීම අරමුණු කොටගත් දැඩි කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කරමිනි. රජය විසින් පාලනය කරනු ලබන මෙරට රාජ්‍ය ව්‍යවසායන් (SOE) රැසක් අසාර්ථක වීම ඒවායෙහි අකාර්යක්ෂම තත්වයට හා මූල්‍ය බරට හේතු වී ඇති බව නොරහසකි.
රජය සතු ව්‍යාපාර (SOE) වැරදි සහ අකාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීමේ ඉතිහාසයක් මෙරට රජයට ඇත. එම නිසා එම ආයතන නිරන්තරයෙන් පාඩු ලබන තත්වයට පත්ව තිබෙන අතර විනාශ මුඛයට යමින් පවතී. 1992 වසර වන විට රජය සතු වතු සමාගම් අඛණ්ඩව පාඩු ලැබූ අතර ඒවා පවත්වාගෙන යාමට රජයට වාර්ෂිකව රු. බිලියන 5ක් දක්වා සැලකිය යුතු මූල්‍ය ආධාර ලබා දීමට සිදු විය.
මීට අමතරව, රජය සතු වතු සමාගම් සඳහා ලෝක බැංකුවෙන් ලබා දුන් ඩොලර් මිලියන 300 ක ණය මුදල හේතුවෙන් ජනතා වතු සංවර්ධන මණ්ඩලය (JEDB) සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව (SLSPC) ලංකා බැංකුවට සහ මහජන බැංකුවට රුපියල් බිලියන 8 ක් ණය විය. මෙම මුදල් ලබා ගැනීමෙන් වැවිලි කර්මාන්තය දියුණු කිරීමට අදහස් කළද ඉන් සැලකිය යුතු දියුණුවක් සිදු නොවීය. මේ නිසා වැවිලි ක්ෂේත්රයට මෙම ණය ගෙවීමට නොහැකි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අවසානයේදී රජයට මෙම ණය බර දැරීමට සිදු විය.
පෞද්ගලීකරණයෙන් පසුව, සේවක වැටුප් සැලකිය යුතු ලෙස වැඩි වූ අතර, කලාපීය වැවිලි සමාගම්හි 327,123 ක විශාල ශ්‍රම බලකායක් සමගින් වැවිලි කර්මාන්තය වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක විය. ඔවුන් කර්මාන්තය දියුණු කිරීම සඳහා විශාල වශයෙන් ආයෝජනය කළ අතර, ගෝලීය තරඟකරුවන්ට සාපේක්ෂව පිරිසිදු ලංකා තේ සහ රබර්වල සුවිශේෂී ගුණාත්මක භාවය සඳහා ඔවුන්ගේ කීර්ති නාමය පවත්වා ගැනීමට උපකාරී විය.
මෙම ප්රයත්නයන් වැවිලි කර්මාන්තයේ කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව වැඩිදියුණු කිරීමට හේතු වුවද මෙම යෝජිත වැටුප් වැඩිවීම හේතුවෙන් දැන් එය අවදානමට ලක්ව ඇත. මෙම සමාගම් සියල්ලම කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත ප්‍රසිද්ධියේ වෙළෙඳාම් කරන සමාගම් බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. එබැවින් රජය විසින් සිදු කරන ඕනෑම ක්ෂණික අත්පත් කර ගැනීමක්ම සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා (SEC) නීති, සමාගම් පනත සහ අනෙකුත් අදාළ නීති උල්ලංඝනය කිරීමකි.
මේ ආකාරයෙන් ගනු ලබන ප්‍රායෝගික නොවන අත්තනෝමතික තීන්දු තීරණ හේතුවෙන් දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය පලුදු වී යනු ඇත. විශේෂයෙන් මෙරට නිෂ්පාදන හා සේවාවන්හි මෙන්ම කෘෂිකර්ම ක්ෂේත්රයේ උපාය මාර්ගික වශයෙන් වැදගත් අංශයන්හි දියුණුව වෙනුවෙන් ඍජු විදේශ ආයෝජන මෙරටට අවැසි මොහොතක එය වැවිලි කර්මාන්තයේ උන්නතියට ඍණාත්මක ආකාරයෙන් බලපානු ඇත.
ලංකා වැවිලිකරුවන්ගේ සංගමය විසින් දිගු කාලයක් තිස්සේ ඵලදායිතාව හා වෙන්දේසියෙන් උපයන ආදායම සම්බන්ධ වැටුප් ආකෘතියක් හෝ කම්කරුවන්ගේ දීමනා ඵලදායිතාවයට හා ආදායමට සම්බන්ධ කරන ආදායම් බෙදා ගැනීමේ ආකෘතියකට සහාය දක්වා ඇත. මෙම ක්‍රමය මඟින් ඵලදායිතාව දිරිමත් කරන අතර කම්කරුවන් සඳහා සාධාරණ සහ තිරසාර වැටුප් ක්‍රමවේදයක් සහතික කරයි. කම්කරුවන් වෙත මෑතකදී ගැසට් කරන ලද වැටුපට වඩා වැඩි ආදායමක් පසුගිය වැටුප් ව්‍යුහයේ කොටස් ආදායම් යටතේ හිමිකර ගෙන ඇති බවද වාර්තා සඳහන් කරයි.
වර්තමානයේ ක්‍රියාත්මක දෛනික පැමිණීම මත පදනම් වූ අවම වැටුප් ආකෘතිය යල්පැන ඇති අතර එය නූතන වැවිලි කර්මාන්තයේ අවශ්‍යතාවන් පිළිබිඹු නොකරයි. නිෂ්පාදනයට හෝ ගුණාත්මක භාවයට සිදුවන කිසියම් බාධාවක් අපනයන වෙළෙඳපොලට දැඩි ලෙස බලපෑ හැකි අතර එය අපනයන ආදායම සහ තරඟකාරිත්වය අඩු කිරීමට හේතු විය හැකිය.
අපි ප්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අදූරදර්ශී තීරණවලට වඩා දිගුකාලීන ආර්ථික ස්ථාවරත්වයට ප්‍රමුඛත්වය දෙන සහ ඵලදායිතාව හා බැඳුණු වැටුප් ආකෘතියක් සඳහා කර්මාන්තයේ යෝජනා සලකා බලන ලෙසයි” ලංකා වැවිලි කරුවන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර සිටියේ එලෙසිනි.